Wednesday, December 7, 2011

සුන්දර කඩි ඇල්ල සොයා ගිය අපූර්ව චාරිකාව

          'කඩි ඇල්ල' ගොඩක් අය අහලා පුරුදු නමක් නෙමෙයි. සමහරු ඒ නම අහන්නෙත් අද වෙන්න පුලුවන්.මම අද ලියන්න යන්නේ ඒ අතිශයින් සුන්දර චමත්කාර දිය ඇල්ල ගැනයි.ඇත්තටම කිව්වොත් මමත් මේ දිය ඇල්ල ගැන දැනගත්තේ අහම්බෙන්. බතලේගල යන්න සේරම ලැහැස්ති කරලා යන්න ඔන්න මෙන්න තියෙද්දි වැස්ස ඒකට හරස් වෙලා තිබුනේ. සෑහෙන මහන්සිවෙලා නිවාඩුවක් අල්ලලා දාගන්න ට්‍රිප් එකක් කැන්සල් උනාම හිතට ඇත්තටම දුකයි. දවසෙන් ගිහින් එන්න පුලුවන් ලගපාත ප්ලේස් එකක් ගැන කල්පනා කර කර ඉන්නකොට මට මතක් උනා අපේ ගෙදර බිත්තියේ එල්ලලා තිබුන කැලැන්ඩරයක් ගැන. ඒ 2011 ටෙලිකොම් කැලැන්ඩරය. ඕකේ දිය ඇල්ලක් ගැන තිබුනා කියලා මගේ මතකයේ ලාවට වගේ තිබ්බා. වැඩි වෙලාවක් කැලැන්ඩරයේ පිටු පෙරලන්න ඕන උනේ නෑ මෙන්න තියෙනවා මට ඕන කරපු දේ. ඒ තමයි '' කැටබුලා ඇල්ල හෙවත් කඩි ඇල්ල'' , කැලැන්ඩරයේ තිබුන තොරතුරු වලට අනුව නාවලපිටිය තලවකැලේ පාර අයිනේ කඩියන්ලෙන කියන ගමේ මේ ඇල්ල තියෙනවා කියලා තිබුනත් ඒ තොරතුරු ඇල්ල බලන්න යන්න තරම් මදි.
           'කඩි ඇල්ල'  ගූග්ල් කරපු මට විස්තර හොයාගන්න උදව් උනේ ''මධුරංගගේ සටහන්'' බොලොග් අඩවියයි. බොලොග් එකෙන් ගත්ත තොරතුරුයි නාවලපිටිය ඉන්න මගේ යාලුවෙක්ගෙන් අහගත්ත විස්තරයි එකතුකරගෙන 2011/12/03 දා කඩි ඇල්ල බලන්න යන්න පිටත් වුනා. මමයි, ප්‍රභාත් (පොඩි මහත්තයා) යි හර්ෂ තේවලආරච්චි යි තමයි අපේ ටීම් එක. වෙනදා වගේම අදත් අපිව ගමනාන්තයට ගෙනියන්න උදව් වෙන්නේ පොඩි මැණිකේ දුම්රියම තමයි.හැබැයි මාතලේ ගියා වගේ මේ පාර ට්‍රේන් එකේ හිරවෙලා යන්න උනේ නම් නෑ. සතිය මැද දවසක් හින්දා සැහැල්ලුවෙන් දුම්රිය ගමන අත්විදින්න අපිට පුලුවන් වුනා. නාවලපිටියට එනකොට උදේ 10 විතර ඇති .

මෙන්න අපේ ටීම් එක
(මම,ප්‍රභාත්,හර්ෂ)

ගිමන් හරින ''පොඩි මැණිකේ ''
           

දුම්රිය කාලසටහන නාවලපිටිය 
   
නාවලපිටිය දුම්රිය ස්ථානය

           අපි තුන් දෙනාම ගමනට ඕන කරන තරම් වතුර බෝතල් අරන් ඇවිත් තිබුනා ඒක හින්දා නාවලපිටියෙන් අපිට ගන්න ඕන උනේ උදේ කෑමයි දවල් කෑමයි විතරයි. ඕන කරන දේවල් ලැහැස්ති කරගෙන 10.30 වෙද්දි නාවලපිටිය බස් නැවතුම් පොලට එන්න පුලුවන් උනා.ආරංචි උන විදිහටනම් නාවලපිටිය තලවාකැලේ පාරේ එච්චර බස් යන්නේ නෑ ඒත් වාසනාවට වගේ අපිට එවෙලෙම තලවාකැලේ යන බස් එකක් හම්බ උනා. කඩි ඇල්ල බලන්න යන්න කඩියන්ලෙන හරහා යන 715/1 නාවලපිටිය තලවකැලේ බස් එකක යන්න ඕන. B 317  පාරේ කිලෝ මීටර් 7ක් විතර ගියහම තමයි දිය ඇල්ල තියෙන්නේ.
මෙන්න මෙතනයි දිය ඇල්ල
          දුෂ්කර වංගු සහිත පටු පාරක් උනත් ගමන එතරම් මන්දගාමි බවක් තිබුනේ නෑ.ඔන්න අපි තේ වතු මැදින් සුන්දර ඉසව්වක් ඔස්සේ කඩියන්ලෙන ග්‍රාමයට සේන්දු උනා එතකොට වෙලාව 11.30 ට විතර ඇති. කඩියන්ලෙන ගම පහු කරලා මීටර් 500ක් විතර ඉස්සරහින් තමයි අපේ ගමනාන්තය. තේ වතු මැදින් ඒ සුන්දර දිය දහර ඈත තියාම දැකගන්න පුලුවන්.දිය ඇල්ල ගාවින් බහින ගමන් ආපහු එන්න බස් එකක් තියෙන වෙලාවක් අහගන්නත් අපි අමතක කලේ නෑ...

කඩි ඇල්ල



             මෙච්චර දවස් ‍ෆොටෝ වලින් දැකපු ඒ සුන්දර දර්ශනය මගේ ඇස් ඉදිරිපිට. ඇත්තටම ලස්සනයි ෆොටෝ වල තිබුනටත් වඩා ලස්සනයි.ඒ සුන්දරත්වය වචනවලින් විස්තර කරන්න තරම් මම දක්ෂ නෑ. උස සහ පලල අතින් කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් උනත් මෙහි සුන්දරත්වයට එය බාධාවක් වෙලා නෑ.
             නාවලපිටිය තලවාකැලේ මාර්ගය නිසා පාලමට ඉහලින් කොටස් 2ක් සහ පාලමට පහලින් අනික් කොටස පිහිටනවා.දිය ඇල්ල නුවරඑළිය මහනුවර දිස්ත්‍රික්ක මායිමේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්වන පරිදියි පිහිටලා තියෙන්නේ.

නුවරඑළිය මහනුවර දිස්ත්‍රික්ක මායිම......



                මේ දිය ඇල්ලේ මම දකින විශේෂත්වයක් තමයි දිය ඇල්ලේ පලමු සහ තෙවන කොටස් වල කඩා හැලෙන දිය දහර වෙත ඉතා සමීප වීමට ඇති හැකියාවයි.( වර්ෂාව ඇති විට හෝ ගල් ලිස්සන විට දිය ඇල්ල අසලටම යාමෙන් වලකින්න).
                කඩි ඇල්ල මතකසටහන් වලින් කිහිපයක් තමයි මේ.....



සුන්දරත්වය විදිමින්....



ඇල්ලේ ඉහල කොටස බලා......




කට්ටිය බරටම වැඩ.....

       


දිය ඇල්ලේ පලමු කොටස






දිය ඇල්ලේ දෙවන කොටස

ප්‍රභාත්ගෙන් තවත් ජායාරූපයක්....

                දිය ඇල්ලේ පලමු කොටස අසලට යාමට පැහැදිලි මාර්ගයක් තිබුනත් ඇල්ලේ පාලමෙන් පහල කොටස බැලීමට යාමට නම් පැහැදිලි මාර්ගයක් නෑ.ඔය වෙලාවෙ ලග පාත හිටපු කෙනෙක්ගෙන් පහලට යන්න පාරක් අහගන්න අපිට පුලුවන් උනා.පාලමට මීටර් කීපයක් මෙහායින් පහල ගෙදරකට යාමට තිබුන පාරකින් ගිහින් තමයි ඇල්ලේ පහල කොටස බලන්න ගියේ.ඇල්ල ගාව ගල් තලාවට ආවට පස්සේ තමයි දැක්කේ කූඩැල්ලෝ ඉන්න බව. ඒත් කොහෙ ගියත් පුරුද්දට වගේ සපත්තු දාගෙන යන හින්දා ඒක එච්චර කරදරයක් උනේ නෑ. ඇල්ලේ ඉහල කොටසේදි නම් අපිට කූඩැල්ලෝ දකින්න හම්බවුනේ නෑ.

ඇල්ලේ තෙවන කොටස...




 
               ඇල්ල ගාව සෑහෙන වෙලාවක් අපි ගත කලා.හිතේ හැටියට ෆොටෝ ගත්තා...සුන්දරත්වය උපරිමයෙන්ම වින්දා...ඇත්තටම සුන්දරයි, කියන්න තවත් දෙයක් තියෙනවා පාරට පේනවටත් වඩා ඇල්ල ලගට ගියාම අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. ඒ සුන්දරත්වයත් එක්ක තව ටික වෙලාවක් ඉන්න තියෙනවනම්... ඒත් වෙලාව අපට හරස් වුනා.සවස 3.20 ට නාවලපිටියෙන් පිටත් වෙන පොඩි මැණිකේ අල්ල ගන්න ඕන නිසා අපි 2ට විතර ඇල්ල ගාවින් නාවලපිටියට යන්න බසයට නැග්ගා..
               අපි හිතුවටත් වඩා කලින් නාවලපිටියට එන්න පුලුවන් වුනා. එතකොට වෙලාව 2.40යි, 3.20 වෙනකම් කරන්න දෙයක් කල්පනා කරනකොට තමයි මතක් වුනේ නාවලපිටිය ස්ටේෂන් එකට කිට්ටුව තියෙන පරණ අත හැරලා දාපු රේල්වේ යාඩ් එක ගැන. පුලුවන් ඉක්මනට යාඩ් එකත් බලලා එන්න අපි හිතා ගත්තා. නාවලපිටිය ස්ටේෂන් එකේ ඉදන් නුවර පැත්තට මීටර් 20 ක් විතර ගියාම යාඩ් එකට යන්න පාර තියෙනවා.මම යාඩ් එක ගැනනම් වැඩි යමක් කියන්න දන්නෙ නෑ. කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් ඉන්නනම් තොරතුරු තියෙන ලින්ක් එකක් පෝස්ට් කරන්න. මම යාඩ් එකේදි ගත්ත පිංතූර ට්කක් තමයි මේ......

මෙතනින් යාඩ් එකට......
  
පරන පාටක් නම් ගෑවිලවත් නෑ......

වතුර ටැංකිය ඇතුලත.....

නටඹුන් වු අතීතය......


ටර්නින් ටේබල් එක....


   
               යාඩ් එකේ වැඩි වෙලාවක් ඉන්න අපිට කාලය ඉඩදුන්නේ නෑ. ස්ටේෂන් එකට ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අපිව එක්කගෙන යන්න පොඩි මැණිකේ ආවා..එතකොට වෙලාව 3.30 ට විතර ඇති. කඩි ඇල්ල ගැන මතකයන් එක්ක නාවලපිටියට සමුදෙන්න ඇත්තටම හිතට දුකයි ඒත් ඒ සොදුරු චාරිකාව හැමදාම මගේ හිතේ රැදිලා තිබේවි..........

11 comments:

  1. පට්ට ප්ලේස් එක නෙ ලොක්කා...මේ ඊළඟ පාර නම් මමත් එනව අනිවා..හරිද??

    ReplyDelete
  2. Hodata liyala tiyanawa machan.. elaZ..

    ReplyDelete
  3. අපරාදේ missed it :(
    ලස්සන පින්තූර ටික..
    දිගටම ලියන්න

    ReplyDelete
  4. නියම ගමන චමිල්... හැබැයි ඉතින් එතනට යන අය ඒ සුන්දරත්වය ඉතිරි කරන්න....
    අනේ එතන සමහරු කරල තියන දේවල් දැක්කම දුකහිතෙනව....

    ReplyDelete
  5. පින්තූර ලස්සනයි තැනත් ඒ වගේම ලස්සනයි.දවසක මටත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන ගමන් ඔයාලට සුබ පතනවා පරිසරයේ සුන්දර බව විදින්න තවත් මෙහෙම ගමන් යන්න ලැබෙන්න කියලා..

    ReplyDelete
  6. @දුලියා - උඔව අනිවා සෙට් කරගන්නවා මචන් ඊලග එකට,
    @ටිකිරි - ස්තූතියි මචන්..
    @සංජය අයියා- අයියා නැති අඩුව අපිට සෑහෙන්න දැනුනා.. ඊලග එකටනම් sure නේ....
    @හර්ෂ- කමෙන්ට් එකට විතරක් නෙමෙයි මචන් මේ ට්‍රිප් එකට සහභාගි වුනාටත් බොහොම ස්තූතියි මචන්..උඹ කියපු කතාව ඇත්ත මචන් පරිසරයේ සුන්දරත්වය විදගන්නවා වගේම ඒක අනාගත පරපුරටත් ඒ විදිහටම දායාද කරන එක අපි හැමෝගෙම යුතුකමක්...එතන විතරක් නෙමෙයි හැම දිය ඇල්ලක් ගාවම ඔහොම තමයි...මම ඔය දේවල් ගැන බොලොග් පෝස්ට් එකක් ලියන්නයි හිතාන ඉන්නේ...
    @ආඩම්බරකාරී - බොහොම ස්තූතියි..මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාටත් දවසක මේ ලස්සන තැන බලන්න යන්න පුලුවන් වෙන්න කියලා...

    ReplyDelete
  7. ෂඃ සුන්දර තැනක් නොවැ. ස්තුතියි විස්තර වලට

    ReplyDelete
  8. නාවලපිටිය දුම්රිය අංගනය කියන්නේ රත්මලාන දුම්රිය අංගනයට පස්සේ තියන විශාලම දුම්රිය අංගනය. දුම්රිය කාර්මික වැඩ වලට උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකළ මේ අංගනය විශාල සේවයක් කරලා තියනවා. ඒත් මෑත කාලයක ඒ දුම්රිය අංගනයට ඉහලින් ඇති කන්දේ විශාල කළුගලක් කඩාගෙන වැටේවි යි (නාය යාමක් සිදුවේය) කියන භය මත මේ අංගනය අතැර දමා තියනවා කියන දේ තමයි දැනගන්නට තියෙන්නේ. ඒ පිටුපසින් ඉතා විශාල වැවක් වැනි ජල තටාකයක් දකින්න පුළුවන්. මේත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාරකාරත්වය දරන ජල ටැංකියක්. ඒ ටැංකිය මගින් මේ වැඩපොළේ හා නාවලපිටිය දුම්රිය ස්ථානයේ සියලු ජල අවශ්‍යතා සම්පුර්ණ කරගන්න හැකියාවක් තිබී තියනවා. මේ සම්භන්ධව මම වෙනම පොස්ට් එකක් පල කරන්නම් ඉදිරියේදී.

    ReplyDelete
  9. හරිම ලස්සනයි-ස්තූතියි ෙතාරතුරු කිව්වට-සුභ ගමන්

    ReplyDelete
  10. සුන්දර තැනක්. විස්තර ෙබදා හදා ගන්නවට ස්තූතියි.

    ReplyDelete
  11. අපූරුයි. මම වගේම ඇවිදින එකෙක් දැකීම සතුටක් ඔබට ජය

    ReplyDelete