Showing posts with label දුම්රිය චාරිකා. Show all posts
Showing posts with label දුම්රිය චාරිකා. Show all posts

Sunday, August 12, 2012

ග්‍රේට් වෙස්ටර්න් කදු තරණය (පලමු කොටස)

            'ග්‍රේට් වෙස්ටර්න්' කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකක්ද? ගොඩාක් අයට මතක් වෙන්නේ කොච්චියෙන් බදුලු යනකොට හම්බවෙන ස්ටේෂන් එක වෙන්න ඕන.සමහර කෙනෙක්ට මීට අවුරුදු ගානකට කලින් රූපවාහිනියේ ගිය ලෙමන් පෆ් ඇඩ් එකත් මතක් වෙනවා ඇති..ලංකාවේ හොදම තේ වැවෙන ග්‍රේට් වෙස්ටර්න් තේ වතු යාය මතක් වෙන කට්ටියත් ඇති..ඒ සුප්‍රසිද්ධ තේ වතු යාය මායිමේ සුන්දර ස්ටේෂන් එකට පසුපසින් තියෙන ග්‍රේට් වෙස්ටර්න් කදු පන්තිය මතකයට නැගුන නම් අන්න ඒ කදු ගැටය මුදුනට ගිය කතාව තමයි අද ඔයාල කියවන්න මේ ලැහැස්ති වෙන්නේ..මගේ ජීවිතයේ මෙතෙක් කාලෙකට ලබපු හොදම කදු නැගීමේ අත්දැකීම ග්‍රේට් වෙස්ටර්න් කදු තරණය කිව්වොත් වරදක් නෑ. ඒ තරමටම ඒ ගමන මගේ ජීවිතයට වැදගත් වුනා.

          පුංචි කාලේ මම වැඩියෙන්ම ගිහින් තිබ්බේ බදුලු කිව්වොත් කෙනෙක් අහයි කවුද බදුල්ලේ ඉන්නේ කියලා. ඇත්තම කිව්වොත් මගේ කිසිම කෙනෙක් බදුල්ලේ නෑ. තාත්තා දුම්රිය දෙපාර්තමේනතුවේ වැඩ කරපු නිසා අපිට ඕනම දුම්රියක නොමිලයේ ට්‍රිප් යන්න නිදහස් ප්‍රවේශ පත්‍ර හම්බුනා. අපි හැම ඉස්කෝල නිවාඩුවටම කලේ බදුලු ගිය එකයි.ඔය ගමනේදි මම ගොඩාක් ආස කලේ නැරඹුම් මැදිරියේ ඉස්සරහට වෙලා  ග්‍රේට් වෙස්ටර්න් කදු වැටිය නොපෙනී යනකම් ඒ දිහා බලාගෙන ඉන්නයි. මම ඒකට අදත් ආසයි. මාත් එක්ක ට්‍රිප් ගිය උන් දන්නවා ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියට මම  කොච්චර ඇල්මක් දක්වනවද කියලා. මම හීනෙකින් වත් හිතුවේ නෑ ග්‍රේට් වෙස්ටර්න් නගින්න පුලුවන් කන්දක් කියලා. අංශක 90 ක විතර දළ බෑවුමක් එක්ක තමයි එක එල්ලේ කන්ද අපිට පේන්නේ.. මට කදු නගින පිස්සුව ඇති වුනේ කොහොමද කියලා මම තාම ඔයාලට කියලා නෑනේ නේද? ඒක වුනේ මෙන්න මෙහෙමයි, ඔයාල සමහරු දන්නවා ඇති පොඩි මහත්තයාව, අපි එකම ඉස්කොලේ ඉගෙනගත්ත එකම ගමේ ඉන්න හොද යාලුවෝ. මමයි පොඩියි තව අපේ යාලුවෝ කිහිපදෙනකුයි එකතු වෙලා ගියා අලගල්ල නගින්න ඒ ගමනේදි මට ලැබුන අත්දැකීම් මගේ ජීවිතය නව මානයකට අරන් ගියා.කදු නගින පිස්සුව හැදුනේ එදා තමයි, ඒ ගැන කියන්න දේවල් ගොඩාක් තියෙනවා ඊලග පෝස්ට් එකෙන් අලගල්ල නැගපු හැටි කියන්නම්. 

             අද කතාව ග්‍රේට් වෙස්ටර්න් නැගපු හැටිනේ ඉතින් මම මුලින් කිව්ව විදිහට මම හිතන් හිටයේ ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ නගින්න බැරි කන්දක් කියලනේ ඒත් අපි කිරිගල්පොත්ත නැගලා ආපහු එන ගමනේදි කොච්චියේදි හම්බවුන කට්ටියක් කිව්වා එයාල ග්‍රේට් වෙස්ටර්න් කන්ද නැගලා තියෙනවා කියලා. මට ඒ කතාව එක පාරටම විශ්වාස කරන්න බැරි දෙයක් උනා. මම ගෙදර එනකම්ම හිත හිත ආවෙ මේ කන්ද නගින්න පුලුවන් නම් ඒක කොහාම හරි නගින්න ඕන කියලයි. ගෙදර ආපු ගමන් කලේ නෙට් එකේ ග්‍රේට් වෙස්ටර්න් කියලා ගුග්ල් සර්ච් එකක් කරපු එකයි. මාව පුදුම කරමින් Lakdasun වෙබ් අඩවියේ මේ ගැන සංචාරක සටහනක් තිබ්බා. මේ සටහන කියවලා එතනින් එහාට මේ ගැන විස්තර හොයාගන්න මේ සටහන ලියපු අශාන්ගෙන්  ගොඩාක් උදව් හම්බවුනා. ඒ වගේම නඩේ ගුරා පරිසර සංවිධානයේ සභාපති දිනේෂ් ඩෙකර් ගෙනුත් ලොකු සහයක් මේ ගමන සැලසුම් කිරිමේදි මට ලැබුනා. මේ ගමන යම් මට්ටමක අපහසු , අනතුරුදායක කදු නැගීමක් කියලා අපි මුල ඉදන්ම දැනගෙන හිටිය නිසා හොද සැලැස්මක් අනිවාර්ය වුනා. ඒ නිසා අශාන් හා දිනේෂ්ගෙන් ලද සහයට ඔවුන් දෙදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

  ගමනට යන්න මගේ යාලුවෝ 4ක් එකතු වුනා. දුලියා , විරාජ්, කාවින්ද, විදුරංග තමයි අපේ කණ්ඩායම. විරාජ්ගේ අයියගේ හොදම යාලුවා ග්‍රේට් වෙස්ටර්න් වතු යායේ එක් කොටසක වතු අධිකාරි කෙනෙක් විදහට වැඩ කරනවා.ඉතින් එයා අපිට උදව් කලා කන්ද නගින්න යන්න ගයිඩ් කෙනෙක් දෙන්න. කෝකටත් කියලා අපි තව ගයිඩ් කෙනෙක් ලැහැස්ති කරලා තියාගත්තා මොකද සේරම ලැහැස්ති කරලා ගයිඩ්ගේ ප්‍රශ්නයක් ආවොත් හෙම සැලසුම් සේරම වතුරේ නිසා. හැමදෙයක්ම සුදානම් කරගෙන ඔන්න අපි ගමනට දිනයක් දාගත්තා.

            ගමන යන්න යොදාගත්ත දවසත් ආවා. මමයි දුලියයි කාවින්දයි කොටුව ස්ටේෂන් එකේදි හමබවෙන්නත් පේරාදෙනියෙන් අනිත් දෙන්නව ගන්නත් තමයි අපේ සැලසුම. ගමනට ඕන කරන කෑම බීම සේරම ගන්න හිටයේ කොටුවෙන්. අපි තුන් දෙනා හවස 6 විතර වෙද්දි කොටුවෙදි හම්බවෙලා දුලියා ගෙනාපු කෑම 2කුත් කාලා ලහි ලහියේ ලැහැස්ති වුනා අඩුම කුඩුම ටික අරගන්න ෆුඩ් සිටි යන්න. අපේ වෙලාව කොච්චර හොදද කියනවනම් එදා ෆුඩ් සිටි එක වහලා. අහලා පහල ඉන්න කට්ටියගෙන් සුපර් මාකට් එකක් ගැන ඇහුවම එයාල කිව්වේ යුනියන් ප්ලේස් වෙනකන් ආයේ සුපර් මාකට් නෑ කියලයි. කරන්න දෙයක් නැති තැන සුපර් මාකට් හොයන වැඩේ අතහැරලා අවශ්‍ය බඩු ටික ගන්න පුලුවන් පොඩි පහේ කඩයක් හොයාගෙන අපි කොටුව පිරූවා..ලංකාවේ අගනගරය කොටුවෙන් පාන් ගෙඩියක් හොයාගන්න එදා අපිට පැයක් තිස්සේ මහන්සිවෙලා බැරි උනා. රෙදි කඩ අස්සේ කරක් ගහලා බැරිම තැන යන්තම් 7 වෙද්දි අපි කොටුව ස්ටේෂන් එක ගාවට ආවේ ටොපියක් වත් අරගෙන නෙමෙයි. විරාජ්ට කෝල් කරලා පාන් නුවරින් ගන්න කියලා අපි ගියා ස්ටේෂන් එක ඉස්සරහා කඩේට. එතනින් චොකලට්, ප්ලාස්ටර්, ගිනිපෙට්ටි වගේ දේවල් ටික අරගත්තත් කිරි බෝතල් ටික ගන්න වැඩේ කරගන්න බැරි උනා. තියෙන බඩු ටිකත් අරගෙන ඉක්මනට ස්ටේෂන් එක ඇතුලට ආවා. ඒ වෙනකොට බදුල්ල නයිට් මේල් එක වේදිකාවට ඇවිත් තිබුනේ නැ. අපි තුන්වන පන්තියෙ ප්‍රවේශ පත්‍ර අරගෙන තිබුනේ, ඒත් කලින් පුරුද්දට වගේ මම කට්ටියත් එක්ක හිටියේ දෙවැනි පන්තියේ නිදන මැදිරි නවත්තන හරියේ. කෝච්චිය ලගට ආපුහම තමයි මට මතක් උනා අපේ උන් ටිකට තියෙන්නේ තුන්වැනි  පන්තියෙ ටිකට්නෙ කියලා. පුලුවන් ඉක්මනට වේදිකාවේ ඉස්සරහට දුවගෙන ගියත් ඒ වෙනකොට තුන්වැනි පන්තියේ ෆුට්බෝඩ් එකත් බුක් වී අවසානයි. යන්තම් පැනලා ෆුට් බෝඩ් එකක් අල්ලගෙන එතන ඉදගන්නට දුලියයි කාවින්දටයි පුලුවන් උනා. මම වෙනදා වගේම වවුලා වගේ එල්ලි ගමන් කරන්නට තිරණය කලා. හරියටම රාත්‍රී 8ට අපි කොටුවෙන් පිටත් වුනා. පොල්ගහවෙලට කිට්ටුවෙන්න ඔන්න මෙන්න තියලා කාවින්දගේ ෆෝන් එක අත ලිස්සලා දුලියගේ ඔලුවෙත්  වැදිලා අන්තිමට කෝච්චියෙන් එළියට විසික් උනා..පටන් ගත්ත වෙලේ ඉදන්ම බාධා වුන උන නිසා තව මොනව වෙයිද කියලා සැකයකුත් අපේ හිත්වල තිබුනා. පොල්ගහවෙල ඉදන් වැඩි දුරක් යන්න හම්බුනේ නෑ අපේ සැකය තහවුරු වුනා. කඩිගමුවට මෙහා තියෙන බිම්ගෙය ඇතුලෙදි කොච්චියේ ආසාමාන්‍ය වේගව අඩුවීමක් පෙනුනා. මට ඒකේ වෙනස හොදටම තේරුනා.එන්ජින් එකෙන් ජවය දුන්නත් කොච්චිය අදින් නෑ වගේ දෙයක් මට දැනුනා.එන්න එන්න ම වේගය අඩු වුනා කොච්චිය යම්තම් කඩිගමුව දුම්රිය ස්ථානයට ගාට ගාට ඇවිත් නැවැත්තුවා. එන්ජින් එකේ වැරැද්දක් කියලා හිතන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.මොකද ඉස්සරහට දාලා තිබුන M6 එන්ජිම කඩිගමුවට එනකම් හොදට වැඩ කලා ඒ වගේම පිටුපසට රඹුක්කනදි සම්බන්ධකරපු M5 එන්ජිමත් තිබුන නිසා දුම්රිය නතර වීමට හේතුව එන්ජින් වල අවුලක් කියලා හිතන්න බෑ..ගොඩාක් වෙලාවට බ්‍රෙක් වල ගැටලුවක් වෙන්න ඇති කියලා අපිට හිතුනා. රියදුරන් පෙට්ටියක් පෙට්ටියක් ගානේ බලාගෙන ගියත් ලෙඩේ හොයාගන්න බැරි උනා. අපි කඩිගමුවේ ඒ වෙනකොටත් විනාඩි 45 ක් විතර නැවතිලා. ඔය අතරේ රියදුරන් දුම්රිය මාර්ගය පරික්ෂා කලා. දැක්ක දෙයින් එයාලත් පුදුම උනා..එක් රේල් පීල්ලක දිගේ දිගටම කලුතෙල්  තිබුනා.රියදුරන් 4 දෙනයි මායි ඉස්සරහට ගිහින් බැලුවා දිගටම කලු තෙල් පාර තියෙනවාද කියලා..අපි මිටර් 50 ක් විතර ඉස්සරහට ගියත් කලුතෙල් පාරේ අඩුවක් තිබුනේ නෑ.

හැලුන කලුතෙල්

පීල්ලේ තැවරී තිබු කලුතෙල්

            කවුරු හරි පාරේ කලුතෙල් ගාලා දුම්රිය ධාවනය අඩපණ කරන්න උත්සාහ කරලද කියලා රියදුරන් සැක කලා. ඒත් ස්ටේෂන් එක  ඉස්සරහ පාරේ කාටවත් නොපෙනී කලුතෙල් ගාන්න බැරි නිසා ඒ මතය බැහැර කලා. තවදුරටත් හොයලා බලද්දි ඊට ටික වෙලාවකට කලින් තෙල් කෝච්චියක් නුවර පැත්තට ගිහින් තිබ්බා ඒකෙන් කලුතෙල් පාර දිගට ලීක් වෙන්න ඇති කියලයි අන්තිමට තීරණය උනේ. ඇතිවෙලා තිබුන තත්වය නිසා දුම්රිය ඉදිරියට ධාවනය කරන්න කිසිම හැකියාවක් තිබ්බේ නෑ.රියදුරන් කොළඔ පාලක මැදිරියට තත්වය දැනුම් දුන්නා. ඔය අතරේ අපිව පහුකරගෙන රඹුක්කන පැත්තට තෙල් කෝච්චියක් ගියා ඒක අරන් ගියෙ M9 වර්ගයේ එන්ජිමකින් (M9 කියන්නේ  ලංකාවේ තියෙන එන්ජින් වලින් වැඩිම ජවයක් තියෙන එන්ජිමයි). ඇතිවෙලා තිබුන තත්වයත් එක්ක අපිට ඕන කරලා තිබ්බෙත් M9 හරි M6 හරි වර්ගයේ එන්ජිමක් තමයි. නුවර යාඩ් එකේ මේ දෙවර්ගයේම එන්ජින් එවෙලේ තියෙයි කියලා හිතන්න අමාරු නිසා අපි M5 එන්ජිමක් එනතුරු බලාන හිටියා. විරාජ් ඒ වෙනකොට පේරාදෙනියට ඇවිත් හිටියේ, විරාජ් අපිට කෝල් කරලා කිව්වා M5 එකක් පල්ලෙහාට යනවා දැක්කා කියලා. ඒ කියන්නේ අපිව බේරගන්න එන්නේ පොඩ්ඩෙක්. ආයෙත් හිතේ සැකයක් තිබ්බා M5 දෙකක් එක්ක M6 එකක් කලුතෙල් බේරෙන පාරක පෙට්ටි 13ක ලෝඩ් එකක් කොහොම කඩුගන්නව කන්ද නගින්නද කියලා..

            ඔය අතරේ රියදුරන් හිතුවා තෙල් කොච්චිය පහලට ගිය නිසා පීල්ලේ තෙල් පාර ඒකෙන් ටිකක් හරි කැපෙන්න ඇති කියලා. එහෙම හිතලා ුආයේ පාරක් කෝච්චිය පනගන්නවලා ඉස්සරහට ගන්න උත්සාහ කලා. ඒත් වැඩේ හරිගියේ නෑ. මීටර් 100 කට වඩා ඉස්සරහට යන්න හම්බ්නේ නෑ..ආයෙත් කෝච්චිය ස්ටේෂන් එකටම ගන්න උනා.දැන් අපි පැය එක හමාරකටවත් වඩා කඩිගමුවේ නැවතිලා.දුලියයි කාවින්දයයි තාම ෆුට් බෝඩ් එකේ දෙන්නා දෙපැත්තේ ඉදගෙන බාගෙට නිදි. සිරිපාදේ යන කොල්ලෝ සෙට් වලට නම් ගානක් ඇත්තෙම නැති හැඩයි. උන් ඒ වෙනකොටත් සප්පායම් වෙන්න ඕන එව්වයින් සප්පායම් වෙලා හිටපු නිසා පිස්සු විකාරෙන් සිංදු කියනවා. උන්ට කෝච්චිය ගියත් එකයි නැතත් එකයි. රියදුරන් 4 දෙනයි, ගාඩ්ලයි, අපි සෙට් එකයි, ස්ටේෂන් එකේ අයයි ඇරෙන්න වෙලා තියෙන දෙයක් අනිත් කිසිම කෙනෙක් දැනන් හිටියෙත් නැ.මගෙන් ඇහුවට මම කිව්වෙත් නෑ.කාර්මික දෝෂයක් නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වේ කියලා විතරයි ස්ටේෂන් එකෙන් දැනුම්දුන්නේ. බාධා වෙවි ආපු ගමන මෙතනින් කෙලවර වෙයි කියලා දුලියට වගේම මටත් හිතිලා තිබ්බේ. හිත හැදෙන්නත් එක්ක පහුවෙනිදා උදේ වෙනකම් ස්ටේෂන් එකේ නිදාගෙන රේල් හයික් එකක් වත් යමු කියලා අපි කතා උනා.

ඉදිරිපස M6 එන්ජිම

පසුපස M5 එන්ජිම

මගීන් නොඉවසිල්ලෙන්
            මායි දුලියයි කෝච්චිය පිටිපස්සට වෙලා පොටෝ ගගහ ඉන්න අතරේ රඹුක්කන පැත්තේ ඉදන් කෝච්චියක් එන සද්දයක් ඇහුනා..එන්ජින් එකේ සද්දේන් M9 වෙන්න ඕන කියලා දුලියට කියනකොටම මෙන්න අපි ඉස්සරහ M9 එකක්. අපිව පහුකරන් ගිය තෙල් කෝච්චියෙ එන්ජින් එක රඹුක්කනෙන් ගලවලා උඩහට එවලා තිබ්බේ අපිව තල්ලුකරන්නම කියලා නෙමෙයි. ඉස්සරහින් ගිය නයිට් මේල් එකට ප්‍රශ්නයක් නිසා ඒක බලන්නයි M9 එක ඇවිත් තිබ්බේ. කොහොම හරි දෙයියෝ බලලා වගේ වෙලාවට M9 ආපු නිසා පැය දෙකක් විතර පරක්කු වෙලා අපි කඩිගමුවෙන් පිටත් වුනා.

ගැලවුම්කරුගේ පැමිණිම

M9

රියදුරු මහතා

එක්වීමකට සුදානමින්


            කරදර බාධා මැදින් කෝච්චිය යන්තම් පේරාදෙනියට ආවා. අපි එනකම් විරාජ්ලා පොඩි නින්දක් හෙම දාලා. ඒ දෙන්නව ඉස්සරහෙ පෙට්ටියේ ෆුට් බෝඩ් එකට සෙට් කරලා අපි කට්ටියම රාත්‍රී භෝජනය මහ පාන්දර අනුභව කරන්න පටන් ගත්තා. හොද වෙලාවට විරාජ්ලට පාන් අරගන්න පුලුවන් වෙලා..නැත්නම් දවස් දෙකක් කන්න වෙන්නේ චොකලටුයි බිස්කටුයි තමයි. ඒ අත්දැකීමත් හරිම සුන්දරයි, දුලියයි කාවින්දයි ෆුට් බෝඩ් එකේ පලවෙනි පඩියේ, එච්චර වෙලා හිටගෙන ආපු මමත් දෙවැනි පඩියෙන් වාඩි වෙලා කට්ටියම එක්ක  එකතු වෙලා පාන් කෑවා..ඔය පාන් පෙත්තම ටේබල් එකක වාඩි වෙලා කනවට වඩා අමුතු රසක් අපිට එවෙලේ දැනුනා.

             විරාජ්ලටත් පොඩි කරදරයක් ස්ටේෂන් එකේ අපි එනකන් බලා ඉන්නකොට වෙලා තිබ්බා. එයාලා අපි පරක්කු නිසා පොඩි නින්දක් දාලා.ඔය අතරේ ආපු බීපු ඩයල් එකක් පොඩි කොස්සක් ඇදලා අපේ දෙන්නට. එතැන ඉන්න බැරි නිසා දෙන්න වෙන තැනකට ගිහින් , කලබලේ නිදිමතේ ගිය නිසා විරාජ්ගේ ට්‍රයි පොඩ් එක අමතක කරලා ගිහින් තියෙන්නේ. බහින්න කිට්ටු වෙලා හැටන් දිහාට ඇවිත් ට්‍රයි පොඩ් එක හොයද්දි තමයි විරාජ්ට මතක් උනේ ඒක අමතක වෙලානේ ඇවිත් තියෙන්නේ කියලා.යන්තම් හැටන් වලින් අපිට පෙට්ටිය ඇතුලට එන්න පුලුවන් උනත් ඉදගන්න හම්බවුනේ දුලියටයි කාවින්දටයි විතරයි. අපි ග්‍රේට් වෙස්ටර්න් වලට එනකොට පාන්දර 3 පහුවෙන්න ඇති. ඒ වෙලාවේ තිබ්බේ පුදුම සීතලක්..ඈතින් සමනල කන්දේ සිරිපා කරුණාව සදහා ආලෝකමත් කර තිබු හැටන් මාර්ගය දිස් වුනා...අහසේ තැනින් තැන විදුලි කෙටිම් තිබුනත් වැහි වළාකුළු තිබුනේ නෑ...ස්ටේෂන් එකේදි අපිට ස්ටේෂන් මාස්ටර් ගොඩාක් උදව් කලා. විවේක කාමරය ඇරලා දිලා දෙන්න පුලුවන් හැම පහසුකමක්ම අපිට ලබාදුන්නා. එදා ස්ටේෂන් මාස්ටර් හිටිය දොරවක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙන්නම ඕන.ඒ වගේම දොරවක මහත්මයාව ගමනට පෙරදිම මට හදුන්වා දුන් මා හිතාදර සදරුවන් කුඩාහෙට්ටි මිතුරාටත් මම ස්තුතිවන්ත විය යුතුයි.

ග්‍රේට් වෙස්ටර්න් වලට පා තැබු අවස්ථාව
          පාන්දර 6 විතර වෙනකම් නින්දක් දාගන්න  පුලුවන් කම තිබ්බත් සීතල වැඩි නිසා මට නිදාගන්න පුලුවන්කමක් තිබුනේ නැ. අනිත් අය නම් විටින් විට අඩ නින්දේ සහ මර නින්දේ පසු වු බව මම දැක්කා..යම්තම් එළිය වැටෙනකම් මම බලාසිටියේ නොඉසිල්ලෙන්..පාන්දර 6 ට විතර කට්ටියම නැගිටලා මුණ අතපය හෙම හෝදගෙන අවට වට පිටාවේ පොඩි ෆොටෝ ෂුට් එකක් දැම්මා..එතන ඉදන් කතාව මම ඊලග පෝස්ට් එකෙන් කියන්නම්.එක දිගට කියවගෙන යද්දි කියවන්නත් එපාවෙනවනේ නේද?

ප.ලි

අපිත් එක්ක ආපු විරාජ් කියන්නේ හොද වීඩියෝ එඩිටර් කෙනෙක්.එයා අතින් නිර්මාණය වුනු අපේ හයික් එකේ විඩීයෝ එක මෙතනින් බලන්න.අද පෝස්ට් එකෙන් හයික් එක ගැන කිසිම දෙයක් ලියන්න බැරි උන එක ගැන සමාව ඉල්ලනවා. එකපාරටම හයික් එක ගැන කියනවට වඩා එතනට අපි ආපු හැටි කියන එක හොදයි කියලා හිතුන නිසයි අද ටිකක් වැඩියෙන් ලිව්වේ. අද ලිවීමේ ශෛලියෙත් පොඩි වෙනසක් ඇති කලා ටිකක් සරලා කරලා ලිවීමෙන් හැමෝටම ආසාවෙන් කියවන්න පුලුවන් වෙයි කියලයි එහෙම ලිව්වේ..ඔයාලගේ අදහස් කියන්න. ඉස්සරහට ලිපි සකස් කරද්දි වැදගත් වේවි.

ප.ප.ලි

මේ ගමන අපි ගියේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයෙයි.පෝස්ට් එක දාන්න හිත හිත හිටියත් එක එක වැඩ හින්දා පරක්කු වුනා.අද තමයි ඒකටත් වෙලාවේ හම්බවුනේ.මේකේ ඉතුරු කොටස් ටික ඉක්මනටම ලියලා පෝස්ට් කරන්නම්.තව දෙයක් කියන්න අමතක උනා මේ පෝස්ට් එකේ දාලා තියෙන සමහර ඡායාරූප වල අයිතිය දුලිත සමීර සතුයි.නැවත පලකිරීමක් කරනවා නම් අයිතිකරුවන්ගේ අවසරය මත පමණක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.ජය වේවා !!!

Wednesday, December 7, 2011

සුන්දර කඩි ඇල්ල සොයා ගිය අපූර්ව චාරිකාව

          'කඩි ඇල්ල' ගොඩක් අය අහලා පුරුදු නමක් නෙමෙයි. සමහරු ඒ නම අහන්නෙත් අද වෙන්න පුලුවන්.මම අද ලියන්න යන්නේ ඒ අතිශයින් සුන්දර චමත්කාර දිය ඇල්ල ගැනයි.ඇත්තටම කිව්වොත් මමත් මේ දිය ඇල්ල ගැන දැනගත්තේ අහම්බෙන්. බතලේගල යන්න සේරම ලැහැස්ති කරලා යන්න ඔන්න මෙන්න තියෙද්දි වැස්ස ඒකට හරස් වෙලා තිබුනේ. සෑහෙන මහන්සිවෙලා නිවාඩුවක් අල්ලලා දාගන්න ට්‍රිප් එකක් කැන්සල් උනාම හිතට ඇත්තටම දුකයි. දවසෙන් ගිහින් එන්න පුලුවන් ලගපාත ප්ලේස් එකක් ගැන කල්පනා කර කර ඉන්නකොට මට මතක් උනා අපේ ගෙදර බිත්තියේ එල්ලලා තිබුන කැලැන්ඩරයක් ගැන. ඒ 2011 ටෙලිකොම් කැලැන්ඩරය. ඕකේ දිය ඇල්ලක් ගැන තිබුනා කියලා මගේ මතකයේ ලාවට වගේ තිබ්බා. වැඩි වෙලාවක් කැලැන්ඩරයේ පිටු පෙරලන්න ඕන උනේ නෑ මෙන්න තියෙනවා මට ඕන කරපු දේ. ඒ තමයි '' කැටබුලා ඇල්ල හෙවත් කඩි ඇල්ල'' , කැලැන්ඩරයේ තිබුන තොරතුරු වලට අනුව නාවලපිටිය තලවකැලේ පාර අයිනේ කඩියන්ලෙන කියන ගමේ මේ ඇල්ල තියෙනවා කියලා තිබුනත් ඒ තොරතුරු ඇල්ල බලන්න යන්න තරම් මදි.
           'කඩි ඇල්ල'  ගූග්ල් කරපු මට විස්තර හොයාගන්න උදව් උනේ ''මධුරංගගේ සටහන්'' බොලොග් අඩවියයි. බොලොග් එකෙන් ගත්ත තොරතුරුයි නාවලපිටිය ඉන්න මගේ යාලුවෙක්ගෙන් අහගත්ත විස්තරයි එකතුකරගෙන 2011/12/03 දා කඩි ඇල්ල බලන්න යන්න පිටත් වුනා. මමයි, ප්‍රභාත් (පොඩි මහත්තයා) යි හර්ෂ තේවලආරච්චි යි තමයි අපේ ටීම් එක. වෙනදා වගේම අදත් අපිව ගමනාන්තයට ගෙනියන්න උදව් වෙන්නේ පොඩි මැණිකේ දුම්රියම තමයි.හැබැයි මාතලේ ගියා වගේ මේ පාර ට්‍රේන් එකේ හිරවෙලා යන්න උනේ නම් නෑ. සතිය මැද දවසක් හින්දා සැහැල්ලුවෙන් දුම්රිය ගමන අත්විදින්න අපිට පුලුවන් වුනා. නාවලපිටියට එනකොට උදේ 10 විතර ඇති .

මෙන්න අපේ ටීම් එක
(මම,ප්‍රභාත්,හර්ෂ)

ගිමන් හරින ''පොඩි මැණිකේ ''
           

දුම්රිය කාලසටහන නාවලපිටිය 
   
නාවලපිටිය දුම්රිය ස්ථානය

           අපි තුන් දෙනාම ගමනට ඕන කරන තරම් වතුර බෝතල් අරන් ඇවිත් තිබුනා ඒක හින්දා නාවලපිටියෙන් අපිට ගන්න ඕන උනේ උදේ කෑමයි දවල් කෑමයි විතරයි. ඕන කරන දේවල් ලැහැස්ති කරගෙන 10.30 වෙද්දි නාවලපිටිය බස් නැවතුම් පොලට එන්න පුලුවන් උනා.ආරංචි උන විදිහටනම් නාවලපිටිය තලවාකැලේ පාරේ එච්චර බස් යන්නේ නෑ ඒත් වාසනාවට වගේ අපිට එවෙලෙම තලවාකැලේ යන බස් එකක් හම්බ උනා. කඩි ඇල්ල බලන්න යන්න කඩියන්ලෙන හරහා යන 715/1 නාවලපිටිය තලවකැලේ බස් එකක යන්න ඕන. B 317  පාරේ කිලෝ මීටර් 7ක් විතර ගියහම තමයි දිය ඇල්ල තියෙන්නේ.
මෙන්න මෙතනයි දිය ඇල්ල
          දුෂ්කර වංගු සහිත පටු පාරක් උනත් ගමන එතරම් මන්දගාමි බවක් තිබුනේ නෑ.ඔන්න අපි තේ වතු මැදින් සුන්දර ඉසව්වක් ඔස්සේ කඩියන්ලෙන ග්‍රාමයට සේන්දු උනා එතකොට වෙලාව 11.30 ට විතර ඇති. කඩියන්ලෙන ගම පහු කරලා මීටර් 500ක් විතර ඉස්සරහින් තමයි අපේ ගමනාන්තය. තේ වතු මැදින් ඒ සුන්දර දිය දහර ඈත තියාම දැකගන්න පුලුවන්.දිය ඇල්ල ගාවින් බහින ගමන් ආපහු එන්න බස් එකක් තියෙන වෙලාවක් අහගන්නත් අපි අමතක කලේ නෑ...

කඩි ඇල්ල



             මෙච්චර දවස් ‍ෆොටෝ වලින් දැකපු ඒ සුන්දර දර්ශනය මගේ ඇස් ඉදිරිපිට. ඇත්තටම ලස්සනයි ෆොටෝ වල තිබුනටත් වඩා ලස්සනයි.ඒ සුන්දරත්වය වචනවලින් විස්තර කරන්න තරම් මම දක්ෂ නෑ. උස සහ පලල අතින් කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක් උනත් මෙහි සුන්දරත්වයට එය බාධාවක් වෙලා නෑ.
             නාවලපිටිය තලවාකැලේ මාර්ගය නිසා පාලමට ඉහලින් කොටස් 2ක් සහ පාලමට පහලින් අනික් කොටස පිහිටනවා.දිය ඇල්ල නුවරඑළිය මහනුවර දිස්ත්‍රික්ක මායිමේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්වන පරිදියි පිහිටලා තියෙන්නේ.

නුවරඑළිය මහනුවර දිස්ත්‍රික්ක මායිම......



                මේ දිය ඇල්ලේ මම දකින විශේෂත්වයක් තමයි දිය ඇල්ලේ පලමු සහ තෙවන කොටස් වල කඩා හැලෙන දිය දහර වෙත ඉතා සමීප වීමට ඇති හැකියාවයි.( වර්ෂාව ඇති විට හෝ ගල් ලිස්සන විට දිය ඇල්ල අසලටම යාමෙන් වලකින්න).
                කඩි ඇල්ල මතකසටහන් වලින් කිහිපයක් තමයි මේ.....



සුන්දරත්වය විදිමින්....



ඇල්ලේ ඉහල කොටස බලා......




කට්ටිය බරටම වැඩ.....

       


දිය ඇල්ලේ පලමු කොටස






දිය ඇල්ලේ දෙවන කොටස

ප්‍රභාත්ගෙන් තවත් ජායාරූපයක්....

                දිය ඇල්ලේ පලමු කොටස අසලට යාමට පැහැදිලි මාර්ගයක් තිබුනත් ඇල්ලේ පාලමෙන් පහල කොටස බැලීමට යාමට නම් පැහැදිලි මාර්ගයක් නෑ.ඔය වෙලාවෙ ලග පාත හිටපු කෙනෙක්ගෙන් පහලට යන්න පාරක් අහගන්න අපිට පුලුවන් උනා.පාලමට මීටර් කීපයක් මෙහායින් පහල ගෙදරකට යාමට තිබුන පාරකින් ගිහින් තමයි ඇල්ලේ පහල කොටස බලන්න ගියේ.ඇල්ල ගාව ගල් තලාවට ආවට පස්සේ තමයි දැක්කේ කූඩැල්ලෝ ඉන්න බව. ඒත් කොහෙ ගියත් පුරුද්දට වගේ සපත්තු දාගෙන යන හින්දා ඒක එච්චර කරදරයක් උනේ නෑ. ඇල්ලේ ඉහල කොටසේදි නම් අපිට කූඩැල්ලෝ දකින්න හම්බවුනේ නෑ.

ඇල්ලේ තෙවන කොටස...




 
               ඇල්ල ගාව සෑහෙන වෙලාවක් අපි ගත කලා.හිතේ හැටියට ෆොටෝ ගත්තා...සුන්දරත්වය උපරිමයෙන්ම වින්දා...ඇත්තටම සුන්දරයි, කියන්න තවත් දෙයක් තියෙනවා පාරට පේනවටත් වඩා ඇල්ල ලගට ගියාම අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. ඒ සුන්දරත්වයත් එක්ක තව ටික වෙලාවක් ඉන්න තියෙනවනම්... ඒත් වෙලාව අපට හරස් වුනා.සවස 3.20 ට නාවලපිටියෙන් පිටත් වෙන පොඩි මැණිකේ අල්ල ගන්න ඕන නිසා අපි 2ට විතර ඇල්ල ගාවින් නාවලපිටියට යන්න බසයට නැග්ගා..
               අපි හිතුවටත් වඩා කලින් නාවලපිටියට එන්න පුලුවන් වුනා. එතකොට වෙලාව 2.40යි, 3.20 වෙනකම් කරන්න දෙයක් කල්පනා කරනකොට තමයි මතක් වුනේ නාවලපිටිය ස්ටේෂන් එකට කිට්ටුව තියෙන පරණ අත හැරලා දාපු රේල්වේ යාඩ් එක ගැන. පුලුවන් ඉක්මනට යාඩ් එකත් බලලා එන්න අපි හිතා ගත්තා. නාවලපිටිය ස්ටේෂන් එකේ ඉදන් නුවර පැත්තට මීටර් 20 ක් විතර ගියාම යාඩ් එකට යන්න පාර තියෙනවා.මම යාඩ් එක ගැනනම් වැඩි යමක් කියන්න දන්නෙ නෑ. කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් ඉන්නනම් තොරතුරු තියෙන ලින්ක් එකක් පෝස්ට් කරන්න. මම යාඩ් එකේදි ගත්ත පිංතූර ට්කක් තමයි මේ......

මෙතනින් යාඩ් එකට......
  
පරන පාටක් නම් ගෑවිලවත් නෑ......

වතුර ටැංකිය ඇතුලත.....

නටඹුන් වු අතීතය......


ටර්නින් ටේබල් එක....


   
               යාඩ් එකේ වැඩි වෙලාවක් ඉන්න අපිට කාලය ඉඩදුන්නේ නෑ. ස්ටේෂන් එකට ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අපිව එක්කගෙන යන්න පොඩි මැණිකේ ආවා..එතකොට වෙලාව 3.30 ට විතර ඇති. කඩි ඇල්ල ගැන මතකයන් එක්ක නාවලපිටියට සමුදෙන්න ඇත්තටම හිතට දුකයි ඒත් ඒ සොදුරු චාරිකාව හැමදාම මගේ හිතේ රැදිලා තිබේවි..........