කන්නෙලිය සංචාරයෙන් පස්සේ බ්ලොග් අවකාශයේ සටහනක් තබන පලමු අවස්ථාව..මුලින්ම කියන්න ඕන ඔයාල හැමෝගෙම කමෙන්ට්ස් වලට, මාව ෆලෝ කලාට ගොඩාක් ස්තුතියි කියන එක..වෙන් වෙන් වශයෙන් ස්තුති කරන්නවත් ඔයාලගේ අළුත් පෝස්ට් කියවන්නවත් පහුගිය ටිකේ මට අවස්ථාවක් ලැබුනේ නෑ..කන්නෙලිය ගමනෙන් පස්සේ කැම්පස් එකේ වැඩ කටයුතු වගේම විවිධ පෞද්ගලික කාරණා රාශියක් හින්දා සෑහෙන්න කාර්යබහුල වෙලා හිටයේ..පොරොන්දු වුන විදිහට කන්නෙලිය ගමනේ දෙවන කොටස ලියන්නවත් බැරි උනේ ඒකයි..අඩවි රජාගේ පෝස්ට් එක හරහා වගේම අළුතින් මගේ මේ පුංචි ගවේෂන ලෝකයට ආපු හැමෝම සාදරෙන් මේ පැත්තට පිලිගන්න ගමන් අද ලියන්න යන්නේ ගොඩාක් දෙනෙක් අහලාවත් නැති තැනක් ගැන පුංචි විස්තරයකුත් එක්ක ලස්සන දිය ඇල්ලක් හොයාගෙන ගිය ගමනක් ගැන සංචාරක සටහනයි...ඔයාලට මතක ඇති මීට කලින් පෝසට් එකක මම වංගු දහය ගැන සටහනක් තිබ්බා..බලපු නැති අයට මෙතනින් බලාගන්න පුලුවන්. ඒ ලිපියේදි//මේ ගමනේදි හිමිදිරි පෙදෙස බලාගැනීමට තරම් මා වාසනාවන්ත නොවුනත් නොසිතු පරිදි සිංහරාජ වනාන්තරයේ සුන්දර ඉසව්වක් බලන්නට තරම් මා වාසනාවන්ත වුනා..// කියලා කිව්වා මතක ඇති..අන්න ඒ සිංහරාජ වනයේ සුන්දර ඉසව්වට ඔයාලව ගෙනියන්න තමයි මේ සුදානම..
සිංහරාජය දක්වා.....
| සිංහරාජ ආරණය සේනාසනයට පිවිසුම් මාර්ගය |
| පාර බෙදෙන ස්ථානය |
| සිංහරාජයෙන් පෝෂණය වන දිය දහර |
| සිංහරාජ කන්‍යාවි |
සිංහරාජ ආරණය්‍ය සේනාසනය කියන්නේ අතිශයින්ම සුන්දර නිස්කලංක පංසලක්..වැද පුදා ගැනිමට දාන මාන පිරිනැමිමට වගේම ආරණ්‍ය දැකබලා ගැනිමටත් දිනපතාම යම් පිරිසක් මේ කරා ඇදෙනවා..සිංහරාජ වනයට ඇතුල් වීමේ අදහස අත්හල අප ආරණ්‍ය දැක බලාගෙන වැද පුදා ගැනිමට කතිකා කරගත්තා...
සිංහරාජ වනාන්තරය මායිමේ පිහිටා ඇති මේ
ආරණ්‍යය අවට වනාන්තරය තුල ඓතිහාසික ගල්ලෙනක් ඇති බව අපට ආරංචි උනා..ඒ ස්ථානය දක්වා
ගමන්කිරිමට තිබුනේ වනාන්තරය තුලින් වුවත් එළිපෙහෙළි කල පැහැදිලි මාර්ගයක්
තිබුනා..ගල්ලෙන දක්වා ගමනේදි ඇතිවු එකම බාධාව වුයේ අඩියක් තියන්නට මත්තෙන් කකුලට
ගොඩවෙන කුඩැල්ලන්ගෙන් නිසා ඇතිවු බාධාව පමණයි. සැර සබන් ජාතියක් ආලේපනයෙන් එයින්
යම් මට්ටමකට මිදෙන්නට හැකි වුනත් සැහෙන්න කල්පනාකාරි වෙන්න උනා..
| ගල්ලෙන දක්වා මාර්ගය |
| ඓතිහාසික ගල්ලෙන |
ගල්ලෙන දැක බලාගත් අපි ඊලගට ගියේ ගල්තලාවක් මත පිහාටා ඇති ආරණ්‍යයේ බුදු මැදුර හා චෛතය්‍ය දැකබලාගන්නයි...
චෛත්‍යය හා ඒ අවට දැකබලාගෙන අප සුදානම් වුයේ ආපසු හැරී සුන්වු බලාපොරොත්තු සහිතව නිවෙස් කරා ගමන් කිරිමටයි එහෙත් මා සිටියේ කෙසේ හෝ සිංහරාජ වනාන්තරයට අඩිය තබා මිස ආපසු නොයන මානසිකත්වයයි. මගේ පෙරැත්ත කිරිම මත වනයට ඇතුල් විය හැකි මාර්ගයක් තිබේදැයි සොයා බැලිමට අනිත් දෙදෙනා යම්තම් කැමති කරවාගැනිමට මට පුලුවන් උනා..ගල්තලාව මත ඉදිරියට ඇවිද ගිය අපට තේරුම්ගියේ වනයට කිසිදු අයුරකින් අප ගමන් කරමින් සිටි දිශාවෙන් ඇතුලි විය නොහැකි බවයි. එමනිසා ඉදිරියෙන් වු නිවසකින් මේ ගැන විමසිමට අපි තිරණය කලා. නිවැසියාගෙන් ලද ආරංචියෙන් සුන්වු බලාපොරොත්තු විකසිත වීමට පටන් ගත්තත් එය විකසිත විමට ප්‍රථම පරව යන ආරංචියද අපේ කන වැකුනා..ඔහුට අනුව පංසල අසලින් වනයට අඩිපාරක් ඇත. එය වනාන්තරය තුල ඇති දිය ඇල්ලක් දක්වා දිවෙයි ගැටලුව වනුයේ පංසල විසින් කිසිදු පුද්ගලයෙකුට දිය ඇල්ල දක්වා ගමන් කිරිමට අවසර නොදිමයි. කලකට ඉහත එවැනි ගැටලුවක් නොවුවද දිය ඇල්ල දක්වා ගමන් ගත් පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා දැන් එය සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ. මා සිත දිගින් දිගටම කිවේ කෙසේ හෝ මේ දක්වා ගමන් කල යුතු බවයි..අනිත් දෙදෙනාම වුයේ ආපසු නිවෙස් කරා යන මානසිකත්වයක උවද මා තවත් වරක් කෙසේ හෝ උත්සාහ කර බලන අටියෙන් ආවාස ගෙය දෙසට යන්නට තිරණය කලේ පංසලේ ලොකු හාමුදුරුවෝ මුන ගැසි කෙසේ හෝ මේ දිය ඇල්ල දැක බලා ගැනිමට අවසර ගන්නා අදහසිනි.
| වනය තුලින් ඇද හැලෙන දිය ඇල්ල (විශාලනය කර බලන්න) |
| පුංචි හාමුදුරුවරු |
අපේ වාසනාවට හෝ අවාසනාවට එදින ලොකු හාමුදුරුවෝ පංසල තුල නොවීය. එමනිසා කෙසේවත් අවසර දිය නොහැකි යැයි වෙනත් හාමුදුරුනමක් පැවසීය. සෑහෙන උත්සාහකින් අනතුරුව අප සමග සිටි එක් අයකුගේ මව මෙම හාමුදුරුවෝ හැදින සිටි හෙයින් අප හට දිය ඇල්ල දක්වා යැමට අවසර ලැබිණි.අවසාන මොහොත දක්වා උන මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අපේ වෑයම සාර්ථක විය..
ඉන්පසු දියඇල්ල සොයා යන මෙහෙයුම ආරම්බ කලේ මෙන්න මේ විදිහටයි..
ආරම්බයේදී අඩි පාරක් තිබුනද මද දුරක් යන විට අඩි පාර දොල පාරක් පඅසලින් කෙලවර විය. එතැන් සිට වුයේ කන්ද මුදුනේ සිට ගලාගෙන එමින් තිබු දිය පාර පමණයි. අපේ වෑයම වුයේ ඉහලින් තිබු දිය ඇල්ල කරා යෑම නිසා දිය පහර ඔස්සේ ඉහලට ගමන් කිරිමට තිරණය විය.
දිය පහර තැන් කිහිපයකදිම බෙදෙන අයුරු අපට පෙනුනු නිසා ආපසු පැමිණිමේදි පාර හොයා ගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරන්නට අපට සිදු විය. මාලිමාව භාවිතයට අමතරව දිය පහරවල් බෙදෙන අවස්ථාවලදි ලී දඩු සිටුවා පාර මතක තබා ගැනීමටද සිදු විය. යම් හෙයකින් පාර වැරදි වෙනත් දිය පහරක් ඔස්සේ ගියහොත් සිදුවන දෙය අමුතුවෙන් කිවයුතු නොවන්නේය. මාලිමාව නිසා ආපසු ගමනේදි පාර වැරදෙන්නට ගිය අවස්ථා කිහිපයක්ම මග හැරී ගියේ වාසනාවට වඩා පෙර සුදානමේ අගය මොනවට පැහැදිලි කරමිනි.
දිය ඇල්ල දක්වා ගමන ඇත්තටම සුන්දර අත්දැකිමක් අපහට ගෙනෙන්නට සමත් විය. ඝන වනාන්තරයක් මැදින් දිය පහරක් ඔස්සේ ගමන ත්‍රාසජනක සේම භයංකර බවක්ද ගැබ් වී නොතිබුනා නොවේ. කිහිප විටක්ම ගල් මතින් ගමන් ගන්නා විට මා පය ලිස්සා වැටෙන්නට ගිය නමුදු වාසනාවට මෙන් කැමරාවට පමණක් සුළු හානියක් සිදුවී මා හට කිසිදු තුවාලයක් සිදු නොවිණි.
කුඩා කල රූපවාහිනියේ ඇමසෝන් වැනි විදේශීය ටෙලි නිර්මාණ නරඔන විට මා හට දැනුනේ කවදා හෝ දවසක මෙවැනි ඝන වනාන්තරයක මාවත් අතරමංවෙනවනම් කොච්චර අපුරුද වැනි හැගිමකි. වනයේ අතරමං නොවුවත් මොහොතකට හෝ එවන් හැගීමක් සත්‍ය වශයෙන්ම විදගන්න මේ ගමනෙදි මට පුලුවන් උනා.
ඇත්තටම සිංහරාජය කියන්නේ තාමත් කන්‍යාවියක්. ඒ කන්‍යභාවයට අබමල් රේණුවක වත් හානියක් නොකිරිමට අප සෑම මොහොතකම වග බලා ගත්තා.ඝන වනාන්තරයේ ඉදිරි වැටී දිරා තිබු මහා ගස් කියා පෑවේ ස්වභාවධර්මය රජ කරන මේ ඉසව්වේ මිනිසා යනු නුහුරු නුපුරුදු ආගන්තුකයෙකු පමණක්මයැයි නොවේදැයි විටෙක මට සිතුණා.
දිය ඇල්ල දක්වා ගමන යම් තරමක දුෂ්කර ක්‍රියාවක් වුවද මාහට කිසිදු විටක මහන්සියක් දැනුනේ නැත..ඒහෙත් මා සමග පැමිණි මිතුරන් දෙදෙනාට නම් මෙය ඉතාම දුෂ්කර කටයුත්තක් බව මට හැගි තිබුනේ තොරතෝංචියක් නැතිව ඇහුණ ''දැන් ඇති බන් ..තව නැග්ගත් ඔච්චරයි.. ගෙදර යන්න පරක්කු වෙනවා බන්'' වැනි කියමන් නිසයි..දෙදෙනා තැන් දෙකක නැවතී ගිමන් හරින විට පැය කාලක් අමාරුවෙන් ඉල්ලා ගෙන මම තනියමම ඇල්ල දක්වා දිය පහර ඔස්සේ නගින්නට තීරණය කලා...
මගේ අරමුණ සාර්ථක බව කියාපාමින් දිය ඇල්ල දුර තියා දැකගැනිමට මට හැකි වුන වෙලාවයි මේ. දිය ඇල්ල මුදුනටම යාමේ දැඩ් ආශාවක් මා සතු වුවත් අනිත් දෙදෙනා ඒ වන විට දිය ඇල්ල පේන මානයටවත් නොපැමිණ සිටිමත් ඔවුන් හා තවත් ඉහලට නැගිම අනාරක්ෂිත බැවිනුත් මෙතනින් ඉහලට නොයෑමට මම තිරණය කලා.
| දිය ඇල්ලේ සමීප දසුනක් |
| ඇල්ල ආසන්නයේ සිට පෙනෙන පහල ආරණ්‍යය ප්‍රදේශය |
ආපසු ගමන තරමක වේගයෙන් සිදු වුවත් කල්පනාකිරිව ගමන් කිරිමට සිදු වුනා. කුඩැල්ලන්ගෙන් ඇති කරදර සේම පාසි බැදීම නිසා ගල් ලිස්සන සුළු වීමද සැලකිල්ලට ගත යුතු උනා...
| පෙර දැක නොතිබු සලබයෙක් |
| ඉදුනිල්, උපුල් හා මම |
සිංහරාජයේ දිය ඇල්ලක් සොයා ගිය අපුර්ව චාරිකාව අමතක නොවන මතකයන් රාශියක් එක්ක නිමා උනේ මෙන්න මෙහෙමයි. මම මේ පෝස්ට් එක ලියන්න හිතාන හිටපු එකක් නෙමෙයි. මගේ අරමුණ මම යන එන තැන් හැමෝ එක්කම බෙදාගෙන අනිත් අයවත් මේ තැන් බලන්න යන්න පොළඔවන එකයි.ඒත් සිංහරාජයේ මේ ඉසව්ව බලන්න යන්න කෙනෙක්ව පොළබවන්න කෙනෙක්ව යොමු කරනන්න මට අයිතියක් නෑ. කාටහරි කෙනෙක්ට යන්න ආසාවක් තිබුනත් එයාට ඒකට අවසර නෑ. සිංහරාජ ආරණ්‍ය සේනාසනය බලන්න යන්න ඕනැම කෙනෙක්ට පුලුවන් ඒත් වනානත්තරයට ඇතුල් වීමට අවසර දෙන්නේ නෑ..ඉතින් හැමෝටම මේ ගමන යන්න අවස්ථාව නැති නිසා අඩුම තරමින් පෝස්ට් එක හරි කියවලා මේ සුන්දර තැන් දැක ගනි කියන අදිටනින් තමයි මේක මම ලිව්වේ.බොහොම ස්තුතියි෴
ප.ලි. ඡායාරූප විශාල කර බැලිමට ඒ මත ක්ලික් කරන්න..





