Tuesday, March 19, 2013

දුම්බර කදු මුදුන් මත රැයක්...(පළමුවන කොටස)


         දුම්බර කදු එහෙමත් නැත්නම් නකල්ස් කදු ලංකාවේ ඇති ජෛව විවිධත්වයෙන් අනූන ලංකාවේ හදවත බදු තවත් එක් ප්‍රදේශයක් යැයි පැවසුවොත් නිවැරදියි.අද ''යන එන තැන්'' වලින් ඔබව රැගෙන යන්න බලාපොරොත්තුවන්නේ මේ අලංකාර දුමෙන් බර දුම්බර අඩවියේ නකල්ස් කදු මුදුන වෙතයි.ගමන ගැන කතා කරන්න කලින් නකල්ස් සංරක්ෂණ වනාන්තරය (Knuckles Conservation Forest ) ගැන කතා කිරිම වැදගත් වෙයි කියා මා සිතනවා. වර්ෂ 2010 ජුලි මස 31 වැනි දින ලෝක උරුම කොමිසම (World Heritage Committee) මගින් බ්‍රසීලයේ පැවැත්වූ 34 වන සැසිවාරයේදි ඉතා වැදගත් තීරණයක් ගනු ලබනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ මධ්‍යම කදු කර උස්බිම් (Central Highlands of Sri Lanka) ලෝක උරුමයක් ලෙස නම්කිරිමට.මේ නම් කිරිමට පෙර ලංකාවේ ලෝක උරුමයක් ලෙස නම් කර තිබුනේ සිංහරාජ වර්ෂා වනාන්තරය පමණයි ඒ 1988 දියි. මෙම මධ්‍යම කදු කර උස්බිම් ලෝක උරුමයට ප්‍රදේශ 3ක් අයත් වෙනවා. ඒ ශ්‍රී පාද රක්ෂිතය (Peak Wilderness Sanctuary) , මහඑළිය හෙවත් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය (Horton Plains National Park) සහ නකල්ස් සංරක්ෂණ වනාන්තරයයි.ශ්‍රී ලංකාවේ පළමු සංරක්ෂණ වනාන්තරය වන මෙය මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වලට අයත්ව හෙක්ටයාර 21000 පුරා පැතිර පවතිනවා.

                                                      




    පැහැදිලිව හදුනාගත් කදු වැටි 34 ක් සහ අඩි 3000 ට වඩා උසින් පවතින කදු මුදුන් 30 කින් මෙම පෙදෙස සමන්විතයි.උසම කදු මුදුන වන්නේ ගොම්බානියයි එහි උස මීටර් 1906 ක් ලෙස සදහන් වෙයි.උසින් දෙවැනි තැනට පත්වන්නේ අද ''යන එන තැන්'' මගින් ඔබව ගෙනයන නකල්ස් කදු මුදුනයි.එහි උස මීටර් 1868 ලෙස සදහන්.ප්‍රධාන කදු වැටියේ අනිකුත් ප්‍රධාන කදු මුදුන් ලෙස කිරිගල්පොත්ත (මීටර් 1648), දෝතළුගල (1575), කොබෝනිලගල (මීටර් 1555) හැදින්විය හැකියි.මෙයට අමතරව ප්‍රධාන කදුවැටියේ උතුරු කොටසින් ආරම්භ වී ඊසාන දිග දිසාවට විහිදෙන කළුපහන (මීටර් 1617), වාමාරපුගල (මීටර් 1559), ලකේගල (මීටර් 1317 ), සහ ලබුලැස්සපතන (1493) ද, දකුණු කොටසින් ආරම්භ වී ඊසාන දිසාවට විහිදෙන දුම්බානගල (මීටර්1644), ගල්තුන (මීටර් 1129), ප්‍රධාන විහිදුම් ලෙස සැලකිය හැකියි.වැඩිදුර තොරතුරු www.knucklesrange.org වෙබ් අඩවිය ඔස්සේ ලබාගන්න පුලුවන්.එලෙසම කදු මුදුන් සියල්ල ගුග්ල් අර්ත් හරහා දැකගැනිමට www.srilankaview.com වෙතින් අවකාශ සලසා තිබේ.


අඩි 3000 ට වඩා උසින් වැඩි කදු මුදුන්
               නකල්ස් වනපෙත ශ්‍රී ලංකාවේ දැකිය හැකි සියළුම දේශගුණික කලාප දැකගත හැකි එකම ස්ථානය ලෙස හැදින්වේ.මෙහි ශ්‍රී ලංකාවට පමණක් ආවේනික සත්ව සහ ශාක මෙන්ම නකල්ස් කලාපයටම ආවේනික සත්ව හා ශාක විශේෂයන් ද වාර්තා වී තිබේ.ජෛව විවිධත්වයෙන් අනූන මෙම සංරක්ෂන වනය වර්තමානයේ ඉතා සීග්‍රයෙන් විනාශ වෙමින් පවතින බව පැවසීමට සිදුවිම ඉතාමත් ඛේදයකි.දැනට සිදුවී ඇති විනාශය සුළු පටු නොවේ.එනසාල් වගාව, සංචාරක බංගලා ඉදිකිරිම්, වනාන්තර ගිනි තැබිම ආදිය මේ අතරින් ප්‍රධාන තැනක් ගනි.පරිසරයට හිතැති කිසිවෙකුට මෙම විනාශයන් දරාගත නොහැකියි.සංචාරකයන් විසින් බැහැර කරන පොලිතින් ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය නිසා වෙන විනාශයද සදහන් කලයුතුමයි. අපගේ සංචාරය තුලදි නකල්ස් නැරඹුම් මාවත ආරම්භයේ සිට පස් වන කදු මුදුන දක්වා තිබු සියලුම පොලිතින් ප්ලාස්ටික් ඉවත් කිරිමට අප කටයුතු කළා. අඩුම තරමේ කඩදාසි කොළයක්වත් නකල්ස් වන පෙතට බැහැර නොකිරීමට අප වග බලාගත්තා.කරුණාකර මෙම ලිපිය කියවා යමෙක් නකල්ස් යාමට සිතයි නම් ඒ සමගම ඉතාම දැඩි විනයකින් යුතුව සංචාරය කල යුතු බවද මතක තබා ගත යුතුය.කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් පරිසරයට බැහැර නොකිරිමට ඔබ වගබලා ගත යුතුය.එසේ කල නොහැක්කවුන් මෙම ගමන නොයා සිටිම වඩා හොදය.නකල්ස් වනපෙත හා එහි වටිනාකම ගැන එක ලිපියකින් පැවසීම කිසිසේත් කල නොහැක්කකි.නකල්ස් වනපෙත පිලිබද තොරතුරු ලබා ගැනිමට ඩීන්ස්ටන් හා ඉලුක්කුඹුර පිහිටුවා ඇති සංරක්ෂණ මධ්‍යස්ථාන යොදා ගත හැකි අතර ඊට අමතරව අන්තර්ජාලය පිරික්සිමෙන්ද  බොහෝ තොරතුරු දැනගනීමට ඔබට හැකියාව ඇත.

             ''යන එන තැන්'' සමග ඔබව නකල්ස් කදු මුදුනට රැගෙන යන්න දැන් මම සුදානම්.මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕන මේ ගමනට සහභාගි වුන මගේ යාළුවෝ  ප්‍රභාත්, ලක්ෂිත (ලකියා), ලොෂාන් තුන් දෙනාට. මේ අය නොසිටින්න මේ ගමන මට හීනයක්ම වෙන්න තිබුනා. It's time to Hike සමුහයේ අප මේ ගමන මුලින්ම සැලසුම් කරලා තිබ්බේ ගිය අවුරුද්දේ අගෝස්තුවේ යාමටයි.එහෙත් ගමනට පැය කිහිපයකට කලින් ලක්ෂිත මුහුන දුන්න රිය අනතුරක් නිසා ගමන අවලංගු වුනා. මෙවර ගමන සති ගනනකට කලින් දින වෙන්කර යන්න යෙදුන ගමනක් නෙමෙයි..අද හිතලා හෙට ගියා වගේ ගමනක් මේ. නමුත් මා ගමනට අවශ්‍ය සියළුම සැලසුම් කලින් සකසා තිබු නිසා හදිසියේ ගමන පිටත් වුනත් ගැටළුවක් මතුවුනේ නැහැ. මුලින් දවස් දෙක හමාරකට ගමන සැලසුම් කරලා තිබුනේ. ඒත් අන්තිම මොහොතේ ගමන පැය 12 කින් කල්දාන්න සිදු වුනේ ලක්ෂිත ගෙදරින් පිටත් වුනාටත් පසුවයි.කෙසේ හෝ ඉරිදා පාන්දරම ගමන පිටත් වෙන්නට අපිට හැකි වුනා.

                   පොල්ගහවෙල දක්වා ධාවනය වන දුම්රියට අපි මීරිගමින් නගින කොට වෙලාව පාන්දර 5 ට විතර ඇති. ලොෂාන් අප සමග එකතුවුනේ අඹේපුස්ස දුම්රියි ස්ථානයදියි.හතරදෙනා එකතු වු මොහොතේදි  ලබාගත් ගමනේ පලමු ජායාරෑපය තමයි මේ...


ලොෂාන් , ප්‍රභාත් හා ලක්ෂිත දුම්රියේදි (වමේ සිට දකුණට)

බඩු බාහිරාදියෙන් කොටසක්

               උදැසන 5.45 ට මහනුවර බලා ධාවනය වන දුම්රිය අප ගමන් ගත් දුම්රියට සම්බන්ධක දුම්රියක් ලෙස ක්‍රියාතමක වන නිසා අපට පොල්ගහවෙලින් මහනුවර දක්වා ගමන පහසුවක් වුනා.නියමිත වෙලාවටම අපිට පොල්ගහවෙලින් පිටත් වෙන්න හැකියාව ලැබුනා.හතර දෙනා හොදම මිතුරන් උනත් කලාතුරකින් එකට එකතුවෙන නිසා අපිට බොහෝ දැ කතා කරන්නට තිබුනා.විහිළු තහළු ආගිය තොරතුරු සමගින් නොදැනිම අප නුවරට සමිප වුනා.




             දුම්රිය පැය දෙකක ගමනකින් පසුව මහනුවරට සේන්දු වුනා.වත්තේගම දක්වා ගමන් ගන්නා දුම්රියක් වේදැයි පරික්ෂා කලද, ඒ මොහොතේ ගමන් ගන්නා දුම්රියක් නොවුයෙන් වත්තේගම දක්වා ගමන බසයට බාර කරන්න වුනේ ටිකක් අකමැත්තෙන් .උදැසන 8 ට පිටත් වු බසය හරියටම 8.45 වන විට වත්තේගමට ලගා වුනා. බසයෙන් බසින විටම බඹරැල්ල දක්වා 8.45 ට ගමන් ගන්නා බසය අල්ලා ගැනිමට අප වාසනාවනත වුනා.එය මගහැරුනානම් අපිට බොහෝ වෙලාවක් බස් නැවතුමේ රැදි සිටින්නට සිදු වනු ඇත.වත්තේගම සිට බඹරැල්ල (B 205 මාර්ගය) දක්වා බසය ගමන් කරන්නේ ඉතා සුන්දර ඉසව්වක් ඔස්සේයි.විටෙක තේ වතු මැදින්ද , විටෙක වනාන්තරයක් මැදින්ද , විටෙක කඩමණ්ඩියක් ඔස්සේද වැටී තිබුන, වංගු විශාල ප්‍රමාණයක් සහිත කදුකර මාර්ගය ගමනට සැප පහසු වුනේ නම් නෑ.එහෙත් එය මනසට එක් කල සැප පහසුව අධි වේගි මගකින් වත් ලබා ගත නොහැකි බව නම් කිව යුතුමයි.ගමන ගැන එක් මගියෙකු පැවසුවේ ''මහත්තයෝ අර පේන කදු පාමුලටම බස් එක යනවනේ ඉතින්'' යැයි ලෙසයි.එයින්ම ඹබට හැගෙනවා ඇති ගමනේ ඇති දුෂ්කරතාවය.''අර පේන කදු'' ලෙස ඔහු මා හට පෙන්වුයේ නකල්ස් කදු පන්තියයි. අතක් මිට මෙලවු ආකාරයට දිස් වන නකල්ස් කදු වැටිය අභිමානවත් ලෙස ඈතින් නැගි සිටියි. එතරම් දුරක් එතරම් උසකට අපි යනවා යැයි හැගුන විට මා හට  ධෛර්යය මුසු සතුටක් ඇති විය.එහි සියුම් ආඩම්බරයකුත් නොතිබුනා නොවේ.හරියටම උදැසන 10 වන විට අප බඹරැල්ලට ලගා වුනා.


තේ වතු මැදින්...

වන පෙත් මැදින්...


කෙමින් කෙමින්...


ගමනාන්තයට සේන්දු වු වගයි.....

අප ආ බසය බඹරැල්ලෙදි.

ගමනාන්තය සලකුණු කල තිලක වෙළද සැල

                    බසය නවතන තැනම ඉදිරිපස තිබු කුඩා සිල්ලර කඩය තුලට අප ඇදුනේ අතවශ්‍ය එහෙත්  රැගෙන ඒමට අමතක වු ග්ලුකෝස් පැකට් එකක් සහ අතිරේක ලණු කැරලි කිහිපයක් ගැනිමටයි.එහෙත් අවාසනාවට එම එකදු අවශ්‍යතාවයක් වත් ඉටුකරගැනිමට අපට හැකියාව ලැබුනේ නෑ.ඔබ මෙහි පැමිණෙනවානම් වත්තේගම නගරය ඔබගේ අන්තිම බඩු බාහිර මිලදි ගැනිමේ ස්ථානය වන බව  සිහියේ තබා ගත යුතුමයි.වෙලාව 10 ත් පසුවි ඇති හෙයින් ලහි ලහියේ අප ගමනට සුදානම් වන්නට විය.බඹරැල්ල දක්වා එන ගමනේදි පෙනුන නකල්ස් කදු වැටිය අතුරුදන් වි ඇති සේය.සිල්ලර කඩය අසල සිටි පුද්ලයෙකුගෙන් මාර්ගය තහවුරු කරගෙන අපි ගමනට අවතීර්ණ වුනා.



රතු පැහැති රවුම් දෙකෙන් දැක්වෙන්නේ  ආරම්බක (බඹරැල්ල) සහ
අවසාන (නකල්ස් කදු මුදුන) ස්ථානයන් වේ  (55 සිතියම)


නිල් පැහැති රවුමම- ආරම්භක ස්ථානය
රතු පැහැති රවුම-නකල්ස් නැරඹුම් මාවත ආරම්භය
කළු පැහැති රවුම- නකල්ස් කදු මුදුන
නිල් පැහැති ඊතලය- පස්වන කදු මුදුන


කළු පැහැති ඊ තලයෙන් දැක්වෙන්නේ නකල්ස්
නැරඹුම් මාවත දක්වා ඇති මාර්ගයයි (ආරම්භක ස්ථානය)



ලක්ෂිතගෙන් ගමනට ආශිර්වද කරමින් පිරිත් නූල්...
              
                      තුනුරුවන්ගේ ආශිර්වාද ලබාගෙන ගමන ආරම්භ කිරිම කරදරයකින් තොරව ගමන සාර්ථක කරගැනිමට හැකියැයි අප දැඩිව  විශ්වාස කල හෙයින් ආගමික වතාවත් වලින් අනතුරුව ගමන ආරම්භ විය.මාර්ගය ගැන හරි හැටි අවබෝධයක් නොවුවද අපි වැටී තිබු මාර්ගයේ ඉදිරියට ගමන් කලෙමු.





                          ඉදිරියට හමුවන අයගෙන් පාර තහවුරු කරගනිමින් ගමනේ යෙදුන අපට එක් පුද්ගලයෙකු විසින් කෙටි මාර්ගයක් පෙන්වා දුන් හෙයින් ගමන ඉක්මන් විය.ප්‍රථම වරට ගමන් කරන්නෙකුට මෙම කෙටි මාර්ග පිලිබදව අවබෝධයක් ගැනීම තරමක් දුෂ්කර හෙයින් පහත සටහනෙන් ඔබට යම් අවබෝධයක් ගත හැකි වේ යැයි මම අපේක්ෂා කරමි.මෙහි නිල් පැහැයෙන් දැක්වෙන්නේ අප ගමන් කල මාර්ගයයි.මෙහි කහ තරු දෙක යා කරමින් තේ වතු ඔස්සේ වැටි ඇති මාර්ගය දීර්ඝ මාර්ගයයි. අප විසින් අනවබෝධයෙන් ඒ මාර්ගයේ ඉදිරියට ගමන් කර නැවත ආපසු පැමිණීම (එළියට නෙරා ඇති නිල් පැහැති කොටස) ඔබට පැහැදිලි වේ යැයි සිතමි. නැවත පැමිණෙන ගමනේදි අප විසින් ගමන තවදුරටත් කෙටි කරගත් ආකාරය කහ පැහැති මාර්ගයෙන් පෙන්වයි. සිතියම නිරීක්ෂණය කිරීමේදි මීටත් වඩා කෙටි මාර්ග නිරික්ෂණය කල හැක.පලමුවර ගමනේදි කෙටි මාර්ග හදුනාගැනිම අපහසු උවද ගම්වාසින්ගෙන් අසා දැනගෙන ඒවා පාවිච්චි කිරිම ඔබගේ කාලය ඉතිරි කරනු ඇත.




                 නකල්ස් කදු වැටිය දැක ගැනීමේ අදිටනින් සෙමින් සෙමින් අපි ඉදිරියට පිය නැගුවෙමු.තේ වතු සහ වතු කම්කරුවන්ගේ නිවාස අතරින් ඉදිරියට පාර වැටි තිබුනි.





     
                   ප්‍රථම වරට නකල්ස් කදු වැටිය දෘශ්‍යමාන වුයේ ඉහත සිතියමේ දකුණු පස කහ තරුව ඇති ස්ථානයේදියි.ඒ සමගම ඉදිරියෙන් වු තේ වත්තේ උස් තැනක ඉදිකර තිබු සංචාරක බංගලා කිහිපයක් ද දක්නට ලැබුණි.


නකල්ස් කදු වැටිය ප්‍රථම වරට දෘශ්‍යමාන වීම...

දිගු ගමනට පොඩි විවේකයක්....

                        නකල්ස් කදු මුදුන දැකිමත් සමග අපට ගමන ඉක්මන් කල යුතු බව වැටහෙන්නට විය. ඒ වනවිටත් අප සිටියේ කදු මුදුනට බොහෝ දුරක් ඈතින් බව ජායාරූපය දෙස බැලීමෙන්ම පෙනි යයි.එහෙත් ලක්ෂිත සහ ලොෂාන් බොහෝ කලකට පසු කදු නැගිමක නිරත වන බැවින් ඔවුන්ට ඒ වන විටත් වෙහෙස දැනී තිබුනි.ගමන ඉක්මන් කිරිමට ද හැකියාවක් නොවුයෙන් ඒකාකාර වේගයක් පවත්වා ගනිමින් කණ්ඩායම ඉදිරියට ඇදෙන්නට විය.


ඉදිරියටම...

100% පිරිසිදු ජලය...

                    මේ ගමනේදි අප රැයක් කදු මුදුන මත සිටීමට සුලසුම් කර ඇති නිසා ජලය ගැන අරපරිස්සමින් කටයුතු කිරිමට සිදු වුනා. ජලය ගබඩාකරගැනීමට අප විසින් එක පුද්ගලයෙකුට ලීටර් එක හමාරේ බෝතල් 2ක බැගින් රැගෙන ඒමට කටයුතු කලා.ජලය පුරවා ගැනිමට තේ වතු අසලින් ගලනා ජල මාර්ග උපයෝගි කර නොගැනීමට වගබලා ගැනීම වැදගත්.කදු මුදුන් මත ජලය ලබා ගැනීමට කිසිදු හැකියාවක් නැති හෙයින් පහලින් අවශ්‍ය ප්‍රමාණයට ජලය රැගෙන යාම අතවශ්‍යයි.ඒ වගේම සදහන් කල යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ අප විසින් රැගෙන ගිය බෝතල් වලට අමතරව තවත් බෝතල් 4ක් පහලට රැගෙන ඒමට තරම් අප අවසානවන්ත වු බවයි.

                   දහවල් 12.30 පමණ වන විට අප නකල්ස් නැරඹුම් මාවත පටන් ගන්නා ස්ථානයට පැමිණ තිබුනා.අප මෙතෙක් දුර ආ කොන්ක්‍රිට් කර තිබු පාරෙන් ඉහළට විහිදි ගිය මෙම මාවත සැලකිල්ලෙන් නිරීක්ෂණය කරමින් නොගියහොත් මගහැරිමටද ඉඩ තිබේ.
                   
අප ආ මග ඉදිරිය...

නකල්ස් නැරඹුම් මාවත ඇරඹුම

සුන්දර දුම්බර....

                        මෙතැන් සිට නකල්ස් නැරඹුම් මාවත ඔස්සේ අපේ ගමන සිදු වුනා.නකල්ස් සංචාරයේ සුන්දරම මතක එක් කල ඒ පැය කිහිපය එනම් නකල්ස් කදු මුදුන දක්වා ගමනේ සිදුවු රසවත් සිදුවීම් සමග දුම්බර කදු මුදුන් මත රැයක් දෙවන කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මෙම ලිපියේ නිමාව මෙලෙසින් සනිටුහන් වනවා.ඔබට ජය!!! 

          ********සැමවිටම පරිසර හිතකාමිව සංචාරයේ යෙදෙන්න**********




29 comments:

  1. මාව ඉරිසියාවේ පැලෙන්ඩ යනවා

    ReplyDelete
    Replies
    1. හේ හේ..:D :D ඒක භයානකයි අටමෝ...මේ දවස්වල දවස් 7ක් නිවාඩු දාන්නත් බැරියෝ...;)

      Delete
  2. chamil, another fantastic achievement done, wonderful to see the scenery and its spectacular. wonderful work.

    ReplyDelete
  3. උඹලා ගැන හරිම ආඩම්බරයි කොල්ලනේ.... තාරුණ්‍යයට නියම අරුතක් දෙන උඹලට තෙරුවන් සරණයි.. කතාව දෙවන කොටස් එහෙමතක් කියවලා තව කමෙන්ටුවක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියා..අයියලගේ ආශිර්වාද හැමදාම අපිත එක්ක කියලා අපි දන්නවා අයියේ..හෙට හවස් යාමේ වෙද්දි දෙවන කොටසත් දානවා..අනිවාර්යයෙන්ම කියවන්න එන්න...

      Delete
  4. පට්ටෙට ලියලා බං. අර හෙන පොරවල් කියලා හිතාගෙන ඉන්න උන්ට රිදෙනවා ඇති ;)

    මට ගමන මිස් උනා ඉතින් :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්ස් :D :D ආයෙත් අහලා...උබ නැති පාලුව දැනුනා බන් රජෝ..ආවනම් උබත් ලැබ ගන්නවනොවැ රාජ සම්පත්... ;)

      Delete
  5. හරිම ලස්සනයි...මේ පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නීනු...දෙවන කොටස හෙට දානවා එන්න හොදේ....

      Delete
  6. පස්ට චමියා.....තාම කූඩැල්ලො දුන්නු තෑගි තාම තියෙනවා බං ! යමු යමු තව කොහේ හරි යමු..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා බං මගේ කකුලේ තිස්තුන් පොලක තුවාල කැළැල්...:D :D මුන් අපිව කැවේ ලේ නැකමක් තිබිලා ද කොහෙද ලකියෝ...

      Delete
  7. Replies
    1. බොහොම ස්තුතියි රංගි...දිගටම මේ පැත්තේ එන්න හොදේ...

      Delete
  8. නියමයි සහෝදරයා...
    මමත් යන්න කියලා හිතාගෙන තමයි ඉන්නේ.....
    ඒත් කාත් එක්ක යන්නද ? :/

    දිගටම ලියන්න..... :)

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක සෙට් වෙන්න මලේ..It's time to hike ග්රුප් එකේ ඉන්නව නේද? ට්‍රිප් යන්න කලින් අපි ග්රූප් එකේ දැන්වීමක් දානවා..

      Delete
  9. නියමයි මචං.. මේ වගේ පරිසරයට ආදරය කරන අය ඉන්නවා කියන එකත් සතුටක්.. ජය.!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්..අනිවාර්යයෙන්ම චන්දන, පරිසරය කියන්නේ අපේ අම්මා..ඒ අම්මව රැක ගැනිම හැමෝගෙම යුතුකමක්..පුලුවන් හැම විටම අනික් අයත් දැනුවත් කරමින් ඒ යුතුකම ඉටුකරනවා..ඔබට ජය!!!

      Delete
  10. මාත් නකල්ස් හරහානම් ගිහින් තියනවා . මට හිතෙන්නෙ ලංකාවේ සුන්දරම ප්‍රදේශය වෙන්න ඕනෙ කියලා. හරිම සුන්දර ගමනක් . ඉතිරියත් ලියන්නකෝ . එන්නම් බලන්න .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් අක්කා නකල්ස් කියන්නේ ලංකාවේ සුන්දරම ප්‍රදේශය කියන්න පුලුවන්..ලෝක උරුමයක්.. ඉතින් වටිනාකම කියලා නිම කරන්න බැ..නකල්ස් ගැන දැනුවත් වෙලා රැකගැනිම අනාගත පරපුරටත් මේ සුන්දරත්වය විදින්න අවස්ථාව සලසාදිමක් වෙනවා.. ඉතුරු ටික අද හැන්දැවේ දානවා කියවන්න එන්න හොදේ...

      Delete
  11. අනේ අපේ විදින්න බැරි ජීවිතේ..

    ජීවිතේ එපා වෙනවා බං මෙහෙම කොටු වෙලා ඉද්දි, උබල ගමන් යද්දි !

    ReplyDelete
    Replies
    1. හේ හේ :D :D...හිටහංකෝ ලගදිම සෙට් කරන්න බ්ලොග් ලියන සෙට් එකට ට්‍රිප් එකක්..ඔන්න වරෙල්ල ඈ...

      Delete
  12. හොඳ ලිපියක් ඉතුරු ටිකත් දාන්න ඉක්මනින්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තාරක..දිගටම මේ පැත්තේ එන්න.අද හවස දෙවන කොටස දානවා...

      Delete
  13. මලේ අපි ඊගාවට යන්න හිතාන උන්න හයික් එක උඹල කලින් ගියාට ස්තුතී මචං මේ 29 අපි රෙල් හයික් එක යනවා පට්ටිපොල හපුතලේ අප්‍රියෙල් 21 අවුරුදු උත්සවේදි හමුවෙලා වැඩිදුර කතාකරමු ජය ස්තුතී විස්තර වලට ඉතිරි ටිකත් ඉක්මනට දාපන්

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා අපිත් ඔය රේල් හයික් එක ලගදි ගියා පුලුවන් උනොත් 29 ට කලින් ඒ පෝස්ට් එකත් දාන්නම්..හපුතලෙන් නම් පටන් ගන්නේ ඇඩිෂම් බංගලාවත් බලාගෙනම ගමන යන්න පුලුවන්..21 මාත් එනවා..විස්තර කතා කරමු.මේ පෝස්ට් එකේ දෙවන කොටස අද හවස දානවා..

      Delete
  14. photos tiaki,oya liyapu blog ekai attatama godak lassanai....( aat kohomada mechchara details hoya gatte???)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් හොදේ...විස්තර හොයාගන්න නම් ටිකක් මහන්සි වෙන්න උනා ඉතින්..ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තු ඩීටේල් තමයි ඉතින් ඔය..

      Delete
  15. Nice work & keep it up....
    මචං. අපි දෙහිඅත්තකණ්ඩිය (GEC) Green Explorer's Club එකෙන්. මේ Hike එක යන්ඩ plan කරගෙන ඉන්නේ. need some informations & Pls call (0779811884 - Sugath) or send ur phone number.

    ReplyDelete