Thursday, January 19, 2012

බතලේගල නැගපු හැටි.....


                 ''අම්මේ අන්න සීගිරිය පේනවා'' පුංචි කාලේ මුල්ම වතාවට කෝච්චියෙන් නුවර යන ඕනෑම කෙනෙක් කඩුගන්නාව හරියෙදි මේ දේ කියලා ඇති. ඊට පස්සේ අම්මගෙන් හම්බවෙන උත්තරය තමයි '' නෑ නෑ පුතේ ඒ සීගිරිය නෙමෙයි ඒ බතලේගල'' කියන එක.හැබැයි ඉතින් ඔහොම කිව්වට අපි ඕක එකපාර පිලිගන්නෙත් නෑ. '' නෑ නෑ ඒ නම් සීගිරියම තමයි'' පොඩි එකා තමන්ටම කියාගන්නවා. පස්සේ ටිකක් ලොකු වුනාම අපිට තේරෙනවා මේ නම් සීගිරිය නෙමෙයි සීගිරිය වගේම පේන බතලේගල කියලා.. අන්න ඒ ‍ඓතිහාසික බතලේගල පර්වතය නැගපු කතාව තමයි අද මම '' යන එන තැන් '' වලට කියන්න යන්නේ...
                     
                           ඇත්තටම මේ බොලොග් එකේ පලමුවෙනි පෝස්ට් එක වෙන්න තිබුනේ අද මම මේ ලියන  බතලේගල නැගපු හැටි තමයි.ඒත් එක එක හේතු හින්දා මේ ගමන ගොඩක් ප්‍රමාද වුනා. කොහොමෙන් කොහොම හරි අපේ කැම්පස් එකේ යාලුවෝ දෙන්නෙකුයි ඒ එක්කෙනෙක්ගේ ගමේ යාලුවෙකුයි එක්ක සේරම 4 දෙනෙක් මේ ගමනට සෙට් වුනා..

මෙන්න අපේ සෙට් එක
 (අසංක, නිෂාන්, හර්ෂණ,මම)
                             6.20 ට කොළඹින් මාවනැල්ලට තියෙන බස් එකට තමයි අපි කට්ටිය සෙට් වුනේ. බස් එක මගදි ප්‍රමාද වුන නිසා අපි මාවනැල්ලට එනකොට 9 ත් පහුවුනා. සාමාන්‍ය විදිහට ආවානම් ඊට කලින් මාවනැල්ලට එන්න තිබ්බා. කොහොමත් බතලේගල නගින්න පුලුවන් තරම් උදේම යන එක තමයි හොද.

                             කොළඹ ඉදලා එන කෙනෙක්ට බතලේගල එන්න තියෙන ලේසිම විදිහ තමයි මාවනැල්ලට ඇවිත් එතනින් අරණායකට යන බස් එකක් අරගෙන ගැවිලිපිටිය ටවුන් එකෙන් බහින එකයි.මාවනැල්ල ඉදලා ගැවිලිපිටියට කිලෝ මීටර් 9 ක් විතර තියෙනවා. ගැවිලිපිටිය හන්දියෙන් හත්ගම්පලට යන්න බස් එකක් ගන්න පුලුවන්. හැබැයි ඒ පාරේ බස් ටිකක් අඩුයි. උදේ වරුවේ නම් බස් තියෙනවා හවස් වෙද්දි නම් නැති තරම්. බස් එකේ යනවනම් හත්ගම්පල, බතලේගල පාර ගාවින් බහින්න ඕන.ගැවිලිපිටිය හන්දියෙන් ත්‍රී වීල් එකක් හයර් එකට ගන්නත් ලේසියෙන්ම පුලුවන්. එහෙම නැත්නම් ඉතින් කකුල් දෙකේ පිහිටෙන් ඒ කිලෝ මීටර් දෙක හමාර පයින්ම යන්නත් පුලුවන්. හත්ගම්පල හංදියෙන් බතලේගල පාර පටන් ගන්නවා. හත්ගම්පල  ඉදන් බතලේගල කන්ද පාමුලට යන්න නම් වෙන්නේ පයින් තමයි. කන්ද පාමුලටම නැතිවුනත් සෑහෙන දුරට යනකම් පාර කොන්ක්‍රීට් කරලා තියෙනවා. ‍ෆෝ වීල් ජීප් එකකින් හරි කැබ් එකකින් හරි ආවොත් නම් කන්ද පාමුලටම යන්න පුලුවන්. වෑන් එකකින් වුනත් සෑහෙන දුරකට යන්න පුලුවන්. පාර නම් ටිකක් දුෂ්කරයි තැනිතලාවක් හම්බවෙන්නෙම නැති තරම්. හැබැයි ඉතින් මේ ගමනේ නියම අත්දැකීම ගන්න නම් මේ ටිකවත් පයින් යන්න ඕන කියලා තමයි මට නම් හිතෙන්නේ. කන්ද පාමුලට ආවට පස්සේ නම් ඉතින් කෙලින්ම කන්ද නගින්න තමයි තියෙන්නේ හරියට මහගිරිදඹෙ නගිනවා වගේ. ඔන්න ඕක තමයි මාර්ග විස්තරය.

උපුටා ගැනීම 1: 50000 ශ්‍රී ලංකා සිතියම
සිතියම් අංක 61

                අපි ගමන පටන් ගත්තේ 9.40 ට තිබුන  අරණායක බස් එකෙන්. මාවනැල්ල ඉදන් ගැවිලිපිටියට යන අතරමග බතලේගල හරි අපූරුවට පේනවා. ඒත් බස් එකේ හිටපු නිසා ෆොටෝ එකක් ගන්න නම් බැරි වුනා. මාවනැල්ල ගැවිලිපිටිය අතර තැන් කිහිපයකදීම බතලේගල ලස්සනට බලාගන්න පුලුවන්. තමන්ගේ වාහනයක යනවනම් නතරකරලා ෆොටෝ එකක් ගන්න අමතක කරන්න එපා. අපි ගැවිලිපිටියට එනකොට වේලාව 10.15 යි. ගැවිලිපිටිය කියන්නේ එච්චර ලොකු ටවුන් එකක් නෙමෙයි. ආහ් මට කියන්න දෙයක් අමතක වුනා. ගමනට ඕන කරන කෑම බීම හැම දෙයක්ම මාවනැල්ලෙන් ගන්න එක තමයි හොදම දේ. හැබැයි ගැවිලිපිටිය ඉදන් බතලේගලට පයින් යන්න නම් හිතාන ඉන්නේ ගොඩක් බඩු අරගෙන යන එක ගමනට බාධාවක්. චොකලට්, කිරි, බිස්කට්,පාන් වගේ දේවල් අරන් යන එක තමයි ගොඩක්ම හොද. ගමනට සෑහෙන්න වතුර අරන් යන්නත් අමතක කරන්න එපා. මගදි වතුර පුරවාගන්න තැන් කිහිපයක් තිබුනත් ගල උඩ නම් බොන වතුර ඇති කියලා හිතන්නවත් එපා.

                ගැවිලිපිටිය හංදියෙන් හත්ගම්පලට යන්න බස් තිබුනත් අපිට ඕන කරලා තිබුනේ ඒ කිලෝ මීටර් දෙක හමාරත් පයින්ම යන්නයි. ඒක හින්දා බස් එකක් එනකම් ඉන්නේ නැතුව පයින්ම වැඩේ පටන් ගත්තා.

අරණායක බස් එකේදි...

ගැවිලිපිටිය හන්දිය...


උදේ කෑම ඉරිගුය

ලස්සන දැක්කහම ගහ පිටින් උස්සන් එන්න හිතයි....

මග දිගේ...

රටාවක චමත්කාරය...

තවත් එක් කෝණයකින්...

දෙකේ කණුව....
               හත්ගම්පොල හංදියට එනකොට වෙලාව 11 ට විතර ඇති. එතනින් බතලේගල පාර පටන් ගන්නවා.මම ඉස්සරවෙලා කිව්ව වගේ ටික දුරක් ගියහම මේ පාරේ තැනිතලාවක් හොයාගන්නවා බොරු. ගොඩක් වෙලාවට වංගු සහිත නැග්මක් තමයි තියෙන්නේ. ටික දුරක් ගියහම බීමට වතුර ගන්න පුලුවන් නල ලිදක් හම්බවෙනවා. එතනින් වතුර පුරවාගන්න අමතක කරන්න එපා. එතනින් එහාට වතුර ගන්න තැනක් ආයේ හම්බවෙන්නේ නෑ..

බතලේගල පාර...


හත්ගම්පල විහාරය



විඩාබර ගමනට විවේකයක්.....

ගමක අසිරිය...

                         හත්ගම්පොල හංදියේ ඉදන් කදු පාමුලට එන්න අපිට පැයක් විතර ගියා.කදු පාමුල ඉදන් ගල මුදුනට නගින්න තියෙන්නේ දල නැග්මක්. කලින් දවසේ මම ලේ දීලා තිබුන නිසා මට ඒක නගින එක හිතපු තරම් ලේසි උනේ නම් නෑ. හිතේ හයිය හින්දා නැවති නැවති හිමින් සැරේ කොහොම හරි ගල මුදුනටම නැග්ගා.

ආරම්බය හොදයි....

මම තාම අන්තිම......

මල්ලිගේ ජංගමේනම් වැඩ....

වනය මැදින්.....

අත්වාරු, පඩි පෙල් නොතිබ්බනම්....

සුන්දර ගමනක දුෂ්කරත්වය...

වැඩේ ලේසි නෑ.....



තව ටිකයි.....

ඔන්න එහෙනම් ගල මුදුනටත් ආවා...


                       ගල මුදුනට එනකොට වේලාව 12.50 යි. ගල මුදුනේ පාරවල් වල දල සැලැස්මක් තමයි මේ. මේක බොලොග් එක ලියන වෙලාවෙ මතකයෙන් ඇන්ද එකක්. යන්න ඉන්න කෙනෙක්ට දල අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.


                       ගල මුදුනට ආවට පස්සේ පාර දෙකට බෙදෙනවා. දකුණු පැත්තට ( දල සැලැස්මට අනුව) ගියොත් බෞද්ධ විහාරයට යන්න පුලුවන්.දැන් මේ පංසල අතහැරලා දාලා තියෙන්නේ. ඇයි එහෙම වුනේ කියන්න නම් මම හරියටම දන්නෙ නෑ. ආවාසගෙයක් ,නාන කාමර, වැසිකිලි පහසුකම් වගේම විදුලියද ගල මුදුනටම සපයලා තියෙනවා. ඒ වගේම වැසි ජලය රැස් කර තැබිය හැකි විශාල ජල ටැංකියක්ද සාදා තිබෙනවා. හාමුදුරුවරු කිහිප නමකට මෙහි පහසුවෙන් විසීමට හැකියාව තිබෙනවා. මේ විහාරස්ථානය තවදුරටත් පරිහානියට පත්වන්නට ඉඩ නොදී ප්‍රතිසංස්කරණය කොට රැකගැනීම වැදගත් බව මගේ අදහසයි.

ආවාසගෙය...

විවෘත වූ වගයි....

ඒකක 3යි.....


                     ආවාස ගෙය ලගින් පහලට තිබෙන පාර  ආලෝක විහාරය දක්වා විහිදෙනවා. ආලෝක විහාරය ගල් ගුහාවක් දෙපසින් ආවරණය කිරීමෙන් අලංකාර ලෙස සාදා තිබෙනවා.

ආලෝක විහාරය බලා.....

දිවා ආහාරය.....

ආලෝක විහාරය...


                     ආවාස ගෙය ලගින් ඉහලට තිබෙන පාර ඝණ්ඨාර කුලුණ හා විහාරය හරහා විවෘත ගල් තලාව වෙත දිවෙනවා.

බෝධීන් වහන්සේ...



බුදු මැදුර...





                     ඝණ්ඨාර කුලුණ හා විහාරය පහුකරගෙන ටික දුරක් ගියහම පර්වත කෙලවර ගල් තලාවට එන්න පුලුවන්. හතරවටෙන්ම වටවූ කදු වලලු නෙතට එක් කලේ වචනයෙන් විස්තර කල නොහැකි චමත්කාරයක්. අසුපිනි ඇල්ල, අම්බුලුවාව, අලගල්ල කදු වැටිය, උතුවන් කන්ද වැනි ස්ථාන පැහැදිලිව බලාගන්න මෙතනදි පුලුවන්... 

අසුපිනි ඇල්ල...

හරියට තිතට...

අම්බුලුවාව...


                  පර්වතයේ අනෙක් කෙලවරට යන්න තිබුනෙ ආපු පාරෙම ආපස්සටයි. වැඩි වෙලාවක් යන්න කලින් අනෙක් කෙලවරට අපිට එන්න පුලුවන් වුනා. පර්වතයේ ඇති සුන්දරම ස්ථානය මේ වම් පස විවෘත කෙලවරයි. මද්දහනේ දැඩි අව් කාෂ්ටකේ නිසා ඇගට දැනුන  ඒ තෙහෙට්ටුව ඇසිල්ලකින් මකා දමන්නට ඈත කදු වළලු පිස හමා එන සීතල සුලග සමත් වුනා. නෙත ගැටුන සොදුරු දසුන් වලින් කිහිපයක් තමයි මේ.....

අනෙක් කෙලවර බලා.....

හැරුම් ලක්ෂය.....

අව් රශ්මිය ඉවසන්න බැරි තරම්.....

ආ මග.....






සුලං කපොල්ල....

අලගල්ල කදු වැටිය....




සුන්දරත්වය උපරිමයි....




                 බතලේගලට සමුදෙන මොහොතට ඹරලෝසු කටු ලන්වෙලා.අකමැත්තෙන් වුනත් බතලේගල කදු මුදුනට ආයුබෝවන් කියනකොට වෙලාව හවස 4 ට කිට්ටුයි. විනාඩි විස්සක් යන්නටත් කලින් අපිට කදු පාමුලට එන්න පුලුවන් වුනා. හවස් යාමේ බස් ධාවනය අඩු නිසා ගැවිලිපිටිය හංදියටම පයින්ම එන්න වුනත් මහන්සියක් නම් දැනුනේම නැති තරම්..

ආයුබෝවන් '' බතලේගල ''

බහින එකත් ලේසි නෑ

ගලේ කෙටූ පඩි....


ඒ සුන්දර ඉසව්ව....

කට්ටිය හෙමින් යන්න දන්නෙම නෑ....

ගම මැදින්....

සන්ධ්‍යාවේ චමත්කාරය....

නොපෙනී යාමට මොහොතකට පෙර.......

තව ටිකයි....

ගමනක නිමාව......
                         ඔන්න ඹහොමයි ඒ සුන්දර මතකයන් පෙල දිගහැරුනේ..කියන්න වැදගත් දෙයක් තියනවා. මේ බොලොග් පෝස්ට් එක කියවන ඔබටත් හිතෙයි බතලේගල බලන්න යන්න. බතලේගල යන්න මේ සුන්දරත්වය විදගන්න හැබැයි ඒ සුන්දරත්වයට අබමල් රේණුවක තරම්වත් හානියක් කරන්න එපා..ගල උඩට අරන් යන කඩදාසි කොලයවත් එහි නොදමා එන්න වග බලා ගන්න..එහි ඇති දේපල වලට හානි කිරීමෙන් වලකින්න..දකින දකින තැන විකාර ලියන, කන බොන දෙයහි දවටන එතැනම දමා යන අවජාතක පුද්ගලයෙකු නම් ''ඔබ'', මෙහි යාමටවත් නොසිතන එක වඩා හොදය....

( කතෘ අයිතිය සුරකින්න. සියලුම ජායාරූප සහ ලිපියේ අයිතිය කතෘ සතුයි.අවසරයකින් තොරව කිසිවක් උපුටා ගැනීම තහනම්)

27 comments:

  1. එළ ට්‍රිප් එකක් ලස්සනම ලස්සන පිංතූර ගොඩක් එක්ක...කෝච්චියේ යනකොට පේනවා ඔය කන්ද මුල්ම පිංතූරේ තියෙන විදියටම..පොඩි කාලේ මම හිතුවේ සීගිරිය කියලා..එළ ඈ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලුවා...පොඩි කාලේ මමත් කෝච්චියේ යනකොට කඩුගන්නාව හරියෙදි මුලින්ම බලන්නේ බතලේගල පේනවද කියලා...මීදුමෙන් වැහිලා පේන්නෙ නැති වුනොත් හෙම හිතට මාර අප්සට්...

      Delete
  2. උඹලා කන්ද නැගලා, දාඩිය පිටින්... හඩුගඳ ගගහ බස් එකේ ආපහු එන්න ඇති නේද. අපරාදේ ඔ‍ය හත්ගම්පල කඩමංඩියට පහලින් නානකෙනෙකුට නාගන්න හොද උල්පතක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අඩෝ සිරාවටම බන්...ඹය සීන් එක කලින් දැනන් හිටියනම්..අපරාදේ අපි කන්ද බහින්න පටන් ගත්තු වෙලේ ඉදන් හෙව්වේ නාන්න පෙලේස් එකක්..තැන්ක් යූ යාලුවා ඊලග පාර නම් හොදට නාගෙන තමයි බස් එකට නගින්නේ....

      Delete
  3. සිරා මචං
    කලින් මේ පැත්තේ ආව ‍වගේ මතකයි.. ජය ශ්‍රී !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං..මතකය අලුත් වෙන්නත් එක්ක නැගපන් මචන් ආයෙත් පාරක්..මගෙත් අයිඩියා එකක් තියෙනවා ආයේ පාරක් ගිහින් රැයක් නැවතිලා ඉදලාම එන්න...

      Delete
  4. nice post bro..
    Specially the photos are great!
    Go ahead!

    ReplyDelete
    Replies
    1. Thank you so much Sanjaya ayya...I really appreciate it..

      Delete
  5. නියමයි මචං... දිගටම මේ වගේ පෝස්ට් දාන්න..අලුතින් යන කෙනෙක්ට වටිනව

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් පලවෙනි පාරට යන කෙනෙක්ට යන තැන ගැන දැනගෙන යන එක සෑහෙන වටිනවා. අපි උනත් මේ ගමන සාර්ථකව ගියේ යන්න කලින් විස්තර හොයාගෙන ගිය හින්දයි...බොහොම ස්තූතියි මචන්..

      Delete
  6. අමතක නොවන ගමනක් බං

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා බන්...ඒ වගේම ගමනෙ සාර්ථකත්වයත් උඔලා හින්ද තමයි. ගමනට සෙට් වුනාට බොහොම ස්තූතියි මචන්...

      Delete
  7. බතලේගල ගියා වගේ, ඇත්ත්මයි ගොඩක් වටිනා කියන වැඩක් සහෝදරයා කරන්නේ, බොහොම ඉස්තුති අපි එක්ක බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. බොලොග් එකෙන් මම මූලිකවම බලාපොරොත්තු වුනේ ඒක තමයි මචන්...ඒක සෑහෙන දුරට සාර්ථක වෙලා තියනවා කියලා පේනව මචන් උඔලගේ කමෙන්ට් දැක්කහම...බොහොම ස්තූතියි මචන්...

      Delete
  8. ඉස්සර මමත් කෝච්චියේ යද්දී බස් එකේ යද්දී බතලේගල බලන්නේ පුදුම ආසාවකින්, සීගිරිය දකින්න වගේ මට. තවමත් බතලේගල ඒ මග යන එන්නන්ගේ දෑස් ඇදල ගන්නේ පුදුම විදියට. මම පදිංචිය නුවර උනත් බතලේගල ගිහින් නම් නෑ, ඒත් යන්න ආසයි. ලස්සන පොස්ට් එකක්. ඒ වගේම පින්තුරු වලටත් ස්තුතියි. යන්න ඕනේ දැන් නම් කොහොම හරි. බතලේගල පන්සල අතාරින්න හේතු උනේ කතෝලික ආගම කියල මම කිව්වොත් පුදුම වෙන්න එපා. මම දන්නා විදියට ඔය පන්සලේ පෝෂක ප්‍රදේශය එහෙමත් නැතිනම් දානේ සීමාව ඔක්කොම දෙනා කතෝලික වෙලා දැන්, දන මාන නොලැබීම නිසාත් වැඩහුන් ස්වාමින්වහන්සේලාගේ අඩුපාඩු නොපිරීම නිසාත් ඔය පන්සල අභාවයට ගියා කියල තමයි ඔය ප්‍රදේශයේම මගේ මිතුරෙක් මට කියපු විස්තරය උනේ. ඔව්. ඔහුත් කතෝලික ආගමට හැරුණ කෙනෙක්.

    ReplyDelete
  9. මට මේ ගමන යන්න කලින් පොඩි ආරන්චියක් ආවා,මේ පන්සල අභාවයට යන්න හේතුව මුස්ලිම් ආගමිකයින් කියලා. ඒත් මේ හරියේ දැක්ක විදිහටනම් මුස්ලිම් ජනාවාස තිබුනේ නෑ...ඒ වගේම පන්සලට හෝ බුදුපිලිම වලට අලාභහානියක් වෙලා තිබුනෙත් නෑ..ඒකෙන් පේනවා මුස්ලිම් ආගමිකයන්ගේ සම්බන්ධයක් වෙලා නැති බව...ඇත්තටම මේ පන්සලට මෙහෙම වුනේ ඇයි කියලා මේ කමෙන්ටුව දකිනකම් දැනන් හිටියේ නෑ...බෙහොම ස්තුතියි තොරතුරු වලට..අනේ මන්ද මිනිස්සු මෙහෙම දවසේ කෑම වේලට, තහඩු කෑල්ලට, වැසිකිලි පෝච්චියට ආගම් මාරු කරන්න ගියොත් මේ පන්සලට වෙලා තියෙන දේ අනාගතේ තව ගොඩක් තැන් වලට වෙයි.. මේ ස්ථානය ඓතිහාසික වශයෙන් සෑහෙන වැදගත් කමක් තියෙන තැනක් පන්සල දිගටම පැවතුනානම් අද මේ තැන බෞද්ධාගමිකයින් නොවරදවා යන බෞද්ධ සිද්ධස්ථානයක්...තව ටික කලක් ගියහම මේ ස්ථානය මෙහෙම්ම කැලැවට වැහිලා යාවි...නිවාඩුවක් හම්බවුන වෙලාවක බතලේගල බලන්න යන්න..අපි ගියා වගේ පයින් යන්න ඕන නෑ..ගල පාමුලටම වගේ ෆෝ වීල් එකකින් යන්න පුලුවන්..පැය භාගයක් විතර වගේ තමයි නගින්න තියෙන්නේ..රෑ නැවතිලා කෑම්ප් එකක් ගහන්න උනත් පුලුවන්..වෙනස්ම අත්දැකීමක් වේව් උත්සාහ කරලා බලන්න......

    ReplyDelete
    Replies
    1. මිනිස්සු එහෙම වෙන්නේ සහෝදරයා ඒ මිනිස්සුන්ගේ දුප්පත්කමට කවුරුත් කතා නොකරන නිසා, ලක්ෂගනනින් පිරිකර ලැබෙන, මුදල් හදල් තියන දායකයෝ ඉන්න පන්සල් ලංකාවේ ඕනේ තරම් තියනවා. ඒත් එක පන්සලකින්වත් මෙහෙම මිනිස්සු ගැන හොයල බලල වැඩ කරන්නේ නෑ. ඉතින් කතෝලික ආගම්වාදීන් NGO එක්ක ඇවිත් ඔවුන්ට මුදල් හා අඩුපාඩු දෙන්නෙත් නොමිලේ බෙහෙත් හා කෑම දෙන්නෙත් එක කොන්දේසියකින්. ඒ දෙවියන්වහන්සේ විසින් ඔවුන් ගලවාගන්න බව හා දෙවියන්වහන්සේ ඔවුන් වෙත තමන් එවූ බව කියමින් ආගමට පැමිණෙන්න කියා. ඉතින්?? කවුද වැරදි? ඒ දුප්පතුන්ට තමුන්ගේ ප්‍රශ්න හරි අඩකින් නිදහස් වෙනවා නම් ඉතින් තව මොනවාද? මම දන්නවා ඔය ගොඩක් පාස්ටර් වරු එහෙම. ඒ අය අපිට කියන්නෙත් ඔය බණ,

      Delete
    2. ඒක සම්පූර්ණ ඇත්ත ක්සැන්ඩර්..උදාහරණයක් විදිමට ගමු මේ බතලේගල මේ අවට මිනිස්සු..ඒ මින්ස්සු ඇත්තටම දුප්පත්..හැබැයි ඒ මින්ස්සුන්ට සල්ලි උල්පතක් අහල පහලම තිබ්බා...ඒ බතලේගල පර්වතය...දැනට මේක බලන්නේ යන්නේ ඉතාම සුලුපිරිසක් විතරයි..ඒත් රජය මූලික වෙලා මෙතන සංචාරකයින් එදිනෙදා එන විදිහේ වැඩ පිලිවෙලක් සකස් කලානම් ඒ මිනිස්සුන්ගේ අතමිට ක්‍රම ක්‍රමයෙන් හරි වැඩි දියුණු වෙනවා...මම දන්න විදිහට කඩුගන්නාවේ ඉදන් බතලේගලට කේබල් කාර් ව්‍යාපෘතියක් වැඩ පටන් අරන් තිබ්බා...ඒත් ඒ දේවල් අන්තිමට මුල් ගලට විතරක් සීමා වෙලා..මම පෞද්ගලික දන්න දෙයක් තමයි මේ බතලේගල බලන්න යන්න බොහෝ දෙනෙක් කැමතියි.."අනේ අතනට යන්න ඇත්නම්'' කියලා බතලේගල පේනකොට කෝච්චි වල මිනස්සු කියනවා මට ඇහිලා තියෙනවා..ඒත් ගොඩාක් දෙනෙක් මෙතනට යන හැටිවත් දන් නෑ...එක්තරා විදහකින් කිව්වොත් මේ පෝස්ට් එකේ අරමුණත් මේක දැකලා යම් පිරිසක් බතලේගල යයි කියන එකයි..අන්‍යගමිකරණය වගේ ගැටළු සමාජයේ සුළු ප්‍රශ්නයක් නෙමෙයි...මේකට රජය මැදිහත් වෙලා යම්කිසි ආකාරයක ක්‍රමවත් වැඩ පිලිවලක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයක්...යම් පුද්ගලයෙකු තමන්ගේ ආගම මාරු කිරීම ගැටළුවක් නෙමෙයි..හැබැයි ඒ අළුත් ආගම ගැන පැහැදීමක් ඇති වෙලා ඒ ආගමේ තමන් හොයපු දේ තියෙනවා කියලා බුද්ධිමත්ව වටහගෙන....

      Delete
  10. අදයි මේ පෝස්ට් එක බලන්න ලැබුනේ... බොහොම හොඳ විස්තරයක්

    ReplyDelete
  11. කියවන්න පටන් ගත්ත ගමන්ම මට හිනා ගියා. මම රජාගෙ පෝස්ට් එකට දාපු කමෙන්ට් එක දැක්කොත් ඇයි කියලා තේරෙයි.
    ලස්සන ෆොටෝ ටිකක් එක්ක ලස්සන විස්තරයක්

    ReplyDelete
  12. හික්ස්,.,., මඩ එහෙම නෑ නේ අන්න රජා මඩ ගහනෝ,.,., හික්ස්,.,., එල එල නියමයි ආ

    ReplyDelete
  13. අපූරු විස්තරය සහ පින්තූර ටික

    ReplyDelete
  14. godak sthuthi yaluwaa.....mkea kiywaddi mamath oyalath ekka giya wage denunaa...hugak lassayi...

    ReplyDelete
  15. අපූරුයි කතාවේ අවසාන ඡේදය මාර වටිනවා කොල්ලෝ... මමත් යන්න ඉන්න තැනක්. ‍කොහෙද කාලය හා මුදල් හරස් වෙනවා හැමදාම වගේ...

    ReplyDelete
  16. thank you for sharing your moments & details..Bathalegala one of the sceneric mountains in Sri Lanka

    ReplyDelete
  17. අපිත් ලඟදීම යනවා.

    ReplyDelete