Saturday, November 12, 2011

ට්‍රේන් එකේ මාතලේ ගිහින් අළුවිහාරය බලන්න ගිය හැටි

            මගේ හිතේ පුංචි කාලේ ඉදලාම තිබුන ආසාවක් තමයි ට්‍රේන් එකේ මාතලේ ගිහින් අළුවිහාරය බලන්න යන එක, සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ඒ ආසාව ඉටු කරගන්න පහුගිය පෝය දවසේ මට පුලුවන් වුනා. ඒ ගිය ගමනේ විස්තර තමයි මම  අද යන එන තැන්  වලට කියන්න යන්නේ.
            
            හදිසියෙම යොදා ගත්ත ගමනක් උනත් අවශ්‍ය කරන දේවලුත් ලැහැස්ති කරගෙන ඔන්න මම මාතලේ අළුවිහාරය බලන්න යන්න උදෙන්ම පිටත් උනා.කොළඹ කොටුවෙන් උදේ 5.55ට පිටත් වෙන පොඩි මැණිකේ තමයි මාව පේරාදෙණිය දක්වා අරන් යන්නේ. එදා නිවාඩු දවසක් නිසා සිකුරාදා නිවාඩුවක් දාන කෙනෙක්ට දවස් 4ක දිග නිවාඩුවක් ගන්න පුලුවන් හින්දත් ගොඩක් කට්ටිය ට්‍රිප් යන්න ලැහැස්ති කරගෙන තිබුනා. ඒක නිසා පොල්ගහවෙලින් ට්‍රේන් එකට නගින එක හිතුව තරම් ලේසි උනේනම් නෑ. උදේට ගම්පහින් කැන්ඩියට නගිනවටත් වඩා සෑහෙන ගේමක් දීලා යන්තම් පොඩි මැණිකෙට නැග ගත්තා. ෆුට් බෝඩ් එකේ යන්න පුංචි ආසාවක් තිබුනත් ට්‍රැක් එක හුරු පුරුදු නැති හින්දා අකමැත්තෙන් උනත් ඇතුලට යන්න උනා. .
            
            හැමෝම වගේ ට්‍රිප් යන අයනේ ඉන්නේ, ඉතින් ඇතුලේ ජර මර ගොඩයි.ඔය අතරේ පුංචි බබෙක් වඩාගත්තු අම්ම කෙනෙක් ෆුට් බෝඩ් එක ගාව, බබා හොදටම අඞනවා. කොළඹ ඉදන් හිටගෙනලු ඒත් කිසිම කෙනෙක් සීට් එකක් දීලා නෑ. රඹුක්කන හරියෙදි බබා හොදටම අඞනවා. කට්ටියගෙම උදව්වෙන් ඒ අම්මව සීට් එකක් ගාවට ගන්න පුලුවන් උනත්  එතන ලගම සීට් එකේ ඉදන් හිටපු ගෑණු 3න් දෙනාගෙන් එක්කෙනෙක්වත් සීට් එක දෙන්න කැමැත්තක් පෙන්නුවේ නෑ නෑහුන ගානට හිටියේ. කොහොම හරි ටිකක් එහායින් හිටපු පිරිමි කෙනෙක් ඒ අම්මට සීට් එක දුන්නා. මමයි තව මා ගාව හිටපු කෙනෙකුයි ගෑණු ටික කරපු වැඩේට විරුද්ධව එයාලට ඇහෙන්නම කතා කලා. එක ගෑණු කෙනෙක් ඕක ඇහිලා කලබල වෙලා සීට් එක දෙන්න ලැහැස්තිය. මම කිව්වා දැන් බොරුවට සීට් එක දෙන්න හදන්න ඕනැ නෑ එක්කෙනෙක් ඒක දුන්නා කියලා. පස්සේ මේ ගෑණි ඹරවගෙන හිටියේ නිකම් මාත් එක්ක ගේමට වගේ මමත් බලාගෙන හිටියේ කියපන්කෝ එක වචනයක් හරි කියලා දෙන්නම් ආයේ ට්‍රේන් වල යන්න බැරිවෙන්නම කියලා.  

              කොහොම කොහොම හරි ඔය සීන් අස්සේ ඔන්න අපි පේරාදෙණියටත් ලං වුනා. එතකොට වෙලාව 9 ට විතර ඇති, පේරාදෙණිය ඉදන් මාතලේ යන ට්‍රේන් එක අපි එනකම් බලාගෙන. මට දැනගන්න ලැබුනා ට්‍රේන් එක නුවරින් පිටත් වෙන්නේ 10.20 ට කියලා.අපිට  9.20 වෙද්දි  නුවරට එන්න පුලුවන් වුනා තවත් පැයක් ඉතුරුව තියෙන හින්දා නුවර පොඩ්ඩක් ඇවිදලා එන්න හිතුනා. උදේට මෙකුත් කාලත් තිබුනේ නැති හින්දා ට්‍රේන් එක පැයක් නවත්තලා තියෙන එක මට ප්‍රශ්නයක් උනේ නෑ. ඒත් 10.20 විනාඩි 20 ක් ප්‍රමාදවී ධාවනය වෙනවා කියන එක ඇහුනමනම් ප්‍රශ්න ගොඩක් හිතට ආවා. මේ මගේ ජීවිතේ පලවෙනි වතාවට මාතලේ යන ගමනනේ මට කලින් දවසේ යාඵවෙක්ගෙන් දැනගන්න ලැබුනා  ට්‍රේන් එක මාතලේට යන්නත් සෑහෙන වෙලාවක් ගන්නවා කියලා. බස් එකක යනවනම් පැයකටත් අඩුවෙන් යන්න පුලුවන් කියලා එයා කියලා තිබ්බා. ඒත් මට යන්න ආසාව තිබුනේ ට්‍රේන් එකේ හින්දා කීයට හරි ට්‍රේන් එකේම යනවා කියලා හිතාගෙන ස්ටේෂන් එකේ පොඩි රවුමක් ගැහුවා...... 
       
මහනුවර දුම්රිය ස්ථානය
           
මේ ගස් වල මල් පිපිලා තිබුනානම්.........

වේදිකා 2ක් ... ගමනාන්ත 2ක්...
අපිව මාතලේ එක්ක යන හාදයා.....

තාම ගේට්ටුව නම් වහලා....
           
            
              වේලාව 10.50 යි. දැන් කියයි.. දැන් කියයි කියලා නොඉවසිල්ලෙන් බලා සිටි නිවේදනය ඔන්න යන්නම් කිව්වා..අලුත් අත්දැකීමකට සියල්ල සූදානම් කියන්නා සේ ගාඩ් මහත්යාගේ සංඥාවෙන් අපි මාතලේ බලා ගමන් ඇරඹුවා...
              මහ නුවර සිට වත්තේගම වෙනකම්  දුම්රිය ගමන නාගරික ප්‍රදේශ හරහා වැටී තිබුනා. ඒ අතර වූ ප්‍රධාන  දුම්රිය ස්ථානය කටුගස්තොටයි. වත්තේගම සිට මාතලේ දක්වා නාගරික වට පිටාවෙන් බැහැර වුන ප්‍රදේශ හරහා දුම්රිය ගමන් ගත්තා. මහ නුවර - මාතලේ දුම්රිය ගමනේ මතක සටහන් වලින් කිහිපයක් තමයි මේ........
                 
ඔන්න අපි යනෝ........
    
මහවැලි ගග උඩින්.....
කටුගස්තොටටත්  ආවා...
මෙයා හින්දයි පරක්කුව......
දෙන්නම යන්නයි ලැහැස්තිය......
දැන් ඉන්නේ වත්තේගම.....
සොදුරු දසුන් මැදින්.......
ගමනාන්තය......
අපේ හාදයාට මහන්සියි වගේ....
මාතලේ දුම්රිය ස්ථානය....
මෙතනින් ස්ටේෂමට.....
        පැය එක හමාරකට ආසන්න දුම්රිය ගමනකින් පස්සේ ඔන්න අපි මාතලේට ආවා...ටවුන් එකේ ටිකක් ඇවිදලා බලන්න ආසාවක් තිබුනත් වේලාව ඒකට හරස් උනා...සිතියම අතේ තිබුනත් දන්න කියන කෙනෙක්ගෙන් පාර අහගන්න එක හොදයි කියලා හිතුන නිසා පොඩි කඩේකට ගොඩ වුනා, එතනින් කෑම එකත් කාලා පාරත් අහගන්න මට පුලුවන් වුනා.පාර අහගත්තු විදිහට රෝස වීදීය හරහා ගිහින් රත්තොට බස් නැවතුම් පොලට එන්න මට වැඩි වේලාවක් ගත වුනේ නෑ. A9 එකේ යන දඹුල්ල, නාවුල වගේ ඕනැම බස් එකකින් අළුවිහාරය බලන්න යන්න පුලුවන්.  එතනින් නාවුල යන බස් එකකින් මම අළුවිහාරය බලන්න යන්න පිටත් වුනා.

මාතලේ නගරය ගැන අදහසක් ගන්න මේ සිතියමෙන් පුලුවන්.....

        
              මාතලේ ඉදන් අලු විහාරයට රුපියල් 10 ක දුර තියෙන්නේ. විනාඩි 15 කින් විතර මම අළුවිහාරය ගාවින් බැස්සා. එන්න කලින් මම දැනගෙන හිටියේ අළුවිහාරය කියන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කල ස්ථානය කියලා විතරයි නමුත් මෙම සංචාරයෙන් පස්සේ මෙහි ඇති ඓතිහාසික වටිනාකම ගැන ලොකු අදහසක් මට ඇති වුනා. විහාරයට ඇතුල් වන ස්ථානයෙහි වූ  මෙහි ඇති ඓතිහාසික වටිනාකම ගැන දැක්වුන දැන්වීම් පුවරුවක් තමයි මේ.....



          පෝය දවසක් උනත් බැතිමතුන් විශාල පිරිසක් එදා දකින්න ලැබුනේ නම් නෑ.ඒක නිසා නිදහසේ විහාරය වැද පුදා ගත්නට මට පුලුවන් උනා... විහාරය අවට පරිසරය ඇත්තටම ලස්සනයි. විශාල ගල් කුළු දෙකකින් විහාරය ඉදිරිපස ආවරණය වී තිබුනා. මෙහි තිබුන ඝණ්ඨාර කුලුණ වෙනත් විහාර වල දක්නට ලැබෙනවාට වඩා නිර්මාණශීලී සහ අලංකාර ලෙස නිමවා තිබුනා. විහාරය ඉදිරිපස වූ ගල් පර්වතයේ පහන් තැබීම සදහා ත්‍රිකෝණාකාර හිදැස් කපා තිබුනු අතර ඉහල කොටසේ අතරින් පතර බ්‍රාහ්මී අක්ෂරද දැකගන්නට පුලුවන්.

ඓතිහාසික අළුවිහාරය සංචාරයේ මතක සටහන් තමයි මේ.......







   



























    මේ තියෙන්නේ හෙල අටුවා ග්‍රන්ථ පාලියට නැගු බුද්ධ ඝෝෂ අටුවාචාරීන් වහන්සේගේ පිලිරුවයි. ථෙරවාදි බුදු දහම අතීතයේ බෞද්ධ රටවල ව්‍යාප්තියට හේතු වූ එම කර්තව්‍යයට කෘතවේදීත්වය පලකරීම සදහා උන් වහන්සේගේ පිලිරුව තායිලන්ත ජනතාව විසින් නිමවා මෙසේ තැන්පත් කරලා තිබුනා...










           විහාරස්ථානය අවට වූ ගල් ලෙන් බොහෝමයකම කටාරම් කොටා තිබු අතර සමහර ලෙන් වල  කටාරමට උඩින් කෙටූ බ්‍රාහ්මී අක්ෂරද දැකගන්න පුලුවන්. ඒ වගේම කටාරම් වලට පහලින් ශේෂ වූ බදාම කොටස් ද විමසිල්ලෙන් බැලුවොත් දැකගන්න පුලුවන් එම බදාම මත සිතුවම් ඇද තිබෙන්න ඇතැයි අනුමාන කරන්න පුලුවන්.








    මේ තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර නොවූවත් මෙය පැරණි සෙල්ලිපියක් විය හැකි  බව මගේ අදහසයි. මෙය කුමක්දැයි දැන ගැනීමට උත්සාහ කලත් තොරතුරක් ලබා ගැනීමට ඒ මොහොතේ කෙනෙක් සොයාගැනීම අපහසු උනා...







        සවස තුනත් පහුවුනා කියලා දැක්කම තමයි ගෙදර යන්නත් ඕන නේද කියලා මතක් උනේ. රෑ වෙන්න කලින් මීරිගමට එන්න හිතාන මම අළුවිහාරයට සමුදුන්නා..දඹුල්ල ඉදන් මහ නුවර යන බස් එකක් වාසනාවට වගේ පාරට එද්දිම හම්බ උනා. එකෙන් වැඩි වේලාවක් යන්න කලින් නුවරට එන්න පුලුවන් උනා. නුවරින් 5 ට කොළඹ බලා පිටත් වෙන බස් එකක මම ආපසු ගම් බිම් බලා ගමන් ඇරඹුවා.. ඩ්‍රයිවර් මහත්තයාට පිං සිද්ධ වෙන්න යන්තම් රාත්‍රි 7 වෙද්දි වේවැල්දෙනියට එන්න පුලුවන් උනා....
      සුන්දර මතකයන් රාශියක් එක්ක ඒ ට්‍රිප් එක නිමා උනත් තවත් අළුත් සංචාරයකින්  යන එන තැන්  ගැන කියන්න මම ලගදිම එන්නම්...........
       

10 comments:

  1. නියම ලිපියක් චමිලයෝ...තවත් ලිපි දාපං.කියවන්න සයිබර් අවකශයේ නවාතැනේ හිමිකරු ඉන්නව..ජය වේවා!!

    ReplyDelete
  2. ඉස්සරහට තවත් ලිපි දාන්න ඉන්නේ මචන්..උඹ ඉන්න එත ලොතු හයියත් දුලියා...බොහොම ස්තූතියි...

    ReplyDelete
  3. නියම පෝස්ට් එක මචං.... දිගටම ලියහං

    ReplyDelete
  4. බොහොම ස්තූතියි මචන්...ඊලග පෝස්ට් එක බතලේගල පැත්තට අරන් යමු නේද?

    ReplyDelete
  5. එල එල තවටිකක් බ්ලොග්එක හදල ලෙසටම දෙමු ගේම කට්ටියටම බලන්න... නියමයි ආ......

    ReplyDelete
  6. අනිවා මචන් ඉස්සරහට ලස්සනට වැඩේ කරන්න තමයි හිතන් ඉන්නේ..ඔයාලගේ සහයෝගය තියනවා කියන්නේ සෑහෙන හයියක්..බොහොම ස්තූතියි

    ReplyDelete
  7. Hodata liyala tiyanawa machan. Digatama liyahan. :)

    ReplyDelete
  8. නියමයි මේවගේ චාරිකා යන්න මමත් ගොඩක් ආසයි.

    ReplyDelete
  9. හොඳ චාරිකා සටහනක් චමිල්. ඒ එක්කම ඔබේ සේයාරූ එකතුවත්. විශිෂ්ටයි. දිගටම ලියන්න. අපි එනවා කියවන්න,

    ReplyDelete
  10. මාත් ගියා අළුවිහාරේ බලන්න ඒත් ඒ වැස්ස දවසක. long tour එකක් කොටසක් විදිහට. මෙනන ඒ කතාව
    http://sulakkhana.blogspot.com/2012/10/blog-post_29.html

    ReplyDelete