Thursday, May 17, 2012

දඹදෙණි රජුන් මාළිගා තැනූ මාළිගා ගල


            ‘මචන් වැඩේ හරි නේද ? මම කාර් එක අරන් එනනම් ,ලැහැස්ති වෙලා හිටපන්’ //ආහ් හරි මචන් මම ලැහැස්ති වෙන්නම්,දැන් ඇහැරුනා විතරයි// තරමක අසනීප තත්වයෙන් සිටි මා එසේ පිලිතුරු දුන්නද, පෙර දින කතිකා කරගත් පරිදි අද දින කොහේ හෝ යෑමට යෝජනා කරගෙන තිබුනු බව මට අමතක වී තිබුනි.අසනීප තත්වය නිසා ඇගට කිසිදු පනක් තොතිබුනද සිතට නව පනක් ආවා සේය. කොහේ හරි යන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑඅම්මා හෙමිහිට මුමුනනු ඇසුනේ උදේ කෑම වේලද නොගෙන මා පිටවී යාමට සැරසෙනු දුටු විටය..කෙසේ හෝ මෝටර් රථය ඉක්මනින් පැමිනි හෙයින් උදෑසනින්ම ගමන ආරම්බ කිරිමට අපට හැකි විණි.
            
            අපගේ ගමනට මාද ඇතුලුව හතරදෙනෙකු සහභාගි විය.ගමනාන්තය ගැන කිසිදු අදහසක් මා තුල නොවිණි.හතරදෙනාගේම එකගතාවයට අනුව ගිරිඋල්ල නගරයේ ඇති සිද්ධස්ථාන නැරඹීමට කතිකා කරගතිමු.ප්‍රථමයෙන්ම ගිරිඋල්ල නගරයට ආසන්නවම ඇති මැද්දෙපොල රජ මහා විහාරයද දෙවනුව දඹදෙණිය රජ මහා විහාරයද නැරඹීම අපේ අරමුණ විය.වැඩි වේලාවක් යන්නට මත්තෙන් මැද්දෙපොල රජ මහා විහාරයට පැමිනෙන්ට අපිට හැකිවිය.මැද්දොපොල යනු ලෙන් විහාරයකි. වළගම්බා රපු සැගවී සිට පසු කාලයේදී ස්වාමින්වහන්සේලාට පූජා කල මෙවන් ලෙන් විහාර කිහිපයකටම මා මින් පෙර ගොස් තිබුනි.මීරිගම අවට ඇති කහදව, මාලදෙනිය, ලින්දර, තලගම මෙවැනිම වළගම්බා රජුට සෙවන දුන් තවත් ලෙන් විහාර වේ.





             ඉතාම නිස්කලංක සුන්දර පරිසරයක පිහිටා තිබු මැද්දොපොල විහාරය දෙස පැය ගනනක් වුව එක දිගට බලාගෙන සිටිය හැකිය..එය එතරම්ම සුන්දරය..අවාසනාවකට අප හට විහාරය ඇතුලත දැක ගැනීමට නොහැකි විය.ඒ අවස්ථවේ විහාරය විවෘත කරගැනීමට ස්වාමීන්වහන්සේ නමක් සොයා ගැනීමට නොහැකි විය.
     
            අපේ මීලග ගමනාන්තය වු දඔදෙණිය විහාරය නැරඹීමට යාමේ අටියෙන් අපි මැද්දොපොලට සමු දුන්නෙමු. දඹදෙණියට යන අතරමග අප සමග සිටි එක් මිතුරෙකුගේ නැදෑ ගෙදරකට ගොස් යෑමට අපි තීරණය කලෙමු. එහිදී අපට දඹදෙණිය රාජධානිය ගැන නොදන්නා තොරතුරු රාශියක් දැනගන්නට ලැබුනි. දඹදෙණිය විහාරයට ආසන්නව පිහිටා තිබු, දඹදෙණිය රාජධානියේ රජකල රජවරුන් සිය මාළිග සාදා තිබුනු මාළිගා ගලනම් පර්වතයක් ගැන අසන්නට ලැබුනි. සිරකරුවන් රැදවීමට භාවිතා කල වඩුවා කෙටු ගලනම් තවත් පර්වතයක් ගැනද තොරතුරු කියවිණි. නමින්ම වඩුවා කෙටු යන්නෙහි යම් කුතුහලයක් තිබු බැවින් ඒ පිලිබද මාගේ උනන්දුව වැඩි විය. ජනප්‍රවාදයට අනුව එකල මෙම පර්වතයේ රදවා සිටි එක් සිරකරුවෙකු වෘත්තියෙන් ගල් වඩුවෙකි. සීග්‍ර බෑවුමක් සහිත පර්වතයේ පහලට ගල් පඩි කැපීමට මෙම වඩුවාට හොර රහසේම හැකිවී ඇත.පර්වතයේ හතරෙන් තුනකට ආසන්න දුරක් පඩි පෙල කැපූ ඔහු පහල වු පිදුරු මඩුවකට පැන සිර ගෙයින් පැන ගොස් ඇත. ඉන් පසු මෙම පර්වතයට වඩුවා කෙටු ගල යැයි භාවිතා කොට ඇතැයි පැවසේ. මෙම ස්ථාන දෙකම දැකබලාගැනීමේ ඉමහත් ආශාවක් මා සිත තුල ඇති විය.ස්වභාවයෙන්ම කදු නගින්නට ඉතා ප්‍රිය කරන මා හට අසනීප තත්වය අමතක වී ගියා සේය. දඹදෙණිය විහාරයට මීට පෙර කිහිප වතාවක් අපි ගොස් ඇති බැවින් නව ගමනාන්තයක් සහිතව අපි එතැනින් පිටත් වූයේ ප්‍රථමයෙන්ම මාළිගා ගල නැරඹීමේ බලාපොරොත්තුවෙනි.
       
           දඹදෙණිය රාජධානිය ක්‍රි.ව. 1232 දී ආරම්භ වී දශක 5 කට ආසන්න කාලයක් පුරා පැවතී ඇත. මුල්ම වරට දඹදෙණිය අගනගරය බවට පත්කරගන්නා තුන්වන විජයබාහු රජතුමා ක්‍රි.ව. 1236 දක්වා තම රාජ්‍ය බලය පවත්වාගෙන ගොස් තිබේ. ඉන්පසු පිලිවෙලින් දෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236 - 1270), සිව්වන විජයබාහු (ක්‍රි.ව. 1270 - 1272) හා පළමුවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1272 - 1284) තම පාලන රාජධානිය ලෙස දඹදෙණිය භාවිතා කරයි. දඹදෙණි රාජධානිය හේතුන් කිහිපයක් නිසා ලංකා ඉතිහාසයේ වැදගත් තැනක් උසුලයි. දඹදෙණි යුගය සාහිත්‍ය වංශකතාවේ ස්වර්ණමය යුගයක් ලෙස හැදින්වේ. පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, කව්සිළුමිණ, සිදත් සඟරාව වැනි බෞද්ධ කෘතීන් ගනනාවක් හෙළයට දායාද වුයේ දඹදෙණි යුගයේදීය.මීට අමතරව කාලිංග මාඝගේ දැඩි ආක්‍රමණයෙන් බිඳ වැටුණු අනුරපුර, පොළොන්නරු යුගවලින් පසුව රජ රට මුළුමනින් ම විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ ක්‍රමෝපායන් සැලසුම් කෙරෙන්නේ ද දඹදෙණිය කේන්ද්‍රස්ථාන කරගෙන ය.

           දඹදෙණිය විහාරයට යාමට කොළඹ - කුරුණෑගල ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරීමට සූදානම් වන විට අපට වඩුවා කෙටු ගලපැහැදිලිව දැකගන්නට ලැබුනි. වඩුවා කෙටුවා යැයි පැවසෙන පඩිපෙල ඉතා පැහැදිලිව දැකගත හැකිවිය.එහි යාමට මාර්ගයක් නොදත් හෙයින් ප්‍රථමයෙන් මාළිගා ගල ද දෙවනුව පාර අසාගෙන වඩුවා කෙටු ගල යාමට අපි තීරණය කලෙමු.

වඩුවා කෙටු ගල (කවයෙන් දැක්වෙන්නේ පඩිපෙලයි)
               
             දඹදෙණිය විහාරය අසලින් පහලට ඇති මාර්ගය මාලිගා ගල දක්වා යෑමට ඇති මාර්ගයයි. පාර බෙදෙන තැන් කිහිපයක් හමු වුයෙන් ගම් වැසියන්ගෙන් පාර අසා ගැනීමට අපට සිදු විය.ටික දුරක් යත්ම හෙළ වංශ කථාවේ වටිනා පරිච්චේදයක් ලියූ සිව් රජ දරුවන්ගේ මාලිගා ඉදිවු ඒ අභිමානවත් මාළිගා ගල දුර තියා දැකගැනීමට අපට හැකි විය.එය ප්‍රමාණයෙන් වඩුවා කෙටු ගලට වඩා තරමක් දුරට විශාල බව අපට පෙනී ගියේය.

මාලිගා ගල
                
                වැඩි දුරක් යන්නට මත්තෙන් මාළිගා ගල පිවිසුම් ස්ථානයට යාමට හැකි විය. එහි පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ දඹදෙණීය කාර්යාලයක් ද ස්ථාපනය කොට තිබේ. ගිමන් නිවාගැනීමට හැකි ශාලාවක්ද පසෙකින් විය.ගමනට අවශ්‍ය ජලය පුරවාගැනීමට මේ ස්ථානයෙන් හැකියාව තිබේ.

පිවිසුම් දොරටුව

පුරා විද්‍යා කාර්යාලය     
            
               අවශ්‍ය කරන දෑ සුදානම් කරගෙන අපි මාළිගා ගල නැගීමට ලකලැහැස්ති වුනෙමු. ඇත්තෙන්ම මා හට මෙය වෙනස්ම අත්දැකීමක් විය මන්ද යත් අප කිසිවෙකුත් මෙහි මීට පෙර නොපැමින තිබීමත් අහම්බන් ලැබුනු ගමනාන්තයක් වීමත් නිසාවෙනි. අප හතර දෙනා එකට එකතු වුයේද සෑහෙන කලකට පසුවය. උසස්පෙළ අවසන් වීමත් සමග විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා රැකියා වල යෙදීම හේතුවෙන්  එකි නෙකා හමුවනුයේ මෙවැනි අවස්ථාවලදී පමණි. ආගිය තොරතුරු කතාකරමින් අපේ ගමන ආරම්භ විය...

ආරම්බය මෙතනින්

ගලින් සාදා ඇති පඩිපෙල් සහ ගල් වැටි

ගලින් සෑදු රැදවුම් බිත්ති


                ගමන අතරතුර පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට සම්බන්ධ පුද්ගලයෙකු අපට මුන ගැසිණි. ඔහුගෙන් මේ ස්ථානය ගැන සහ වඩුවා කෙටු ගල ගැනද තොරතුරැ දැනගන්නට හැකි විය.ඔහුට අනුව වඩුවා කෙටු ගල මුදුනට යාමට නිෂ්චිත මාර්ගයක් නොමැත. ගැමියන් ළදු කැළැව මැදින් ගල මුදුනට නගින බව ඔහු පැවසීය. ඔහුගේ තොරතුරු වලින් මට එහි යාමට තිබු ආශාව තවතවත් වර්ධනය විය. එහෙත් කාල වේලා නොමැති කමත් මාගේ අයහපත් සෞඛ්‍ය තත්වයත් හේතුවෙන් මාළිගා ගල පමණක් නැග එය වෙනත් දවසක යෑමට අපි තීරණය කලෙමු.
                මා හට ගමන තරමක විඩාබර එකක් විය.පරිසරයේ සුන්දරත්වය ඒ අපහසුතා සංසිදුවා දැමු දිව්‍යමය ඔසුවක් යැයි මා හට හැගේ.හාත්පස දිවෙන කොළ පැහැය , නිල්ලට ඇදී යන කුඹුරැ යාය..ඈත කදු ඔස්සේ හමා එන සිහින් මද නල...පරිසරයේ සුන්දරත්වයට මා වශී වී ගිය තරම ගල මුදුනට යා යුතු යැයි අමතක වී සේය....



කෙටි විවේකයකින් පසු නැවතත් ගමනේ...

වියලි කොළ එක්කල අපූර්වත්වය

                 වැඩි වේලාවක් යන්නට මත්තෙන් රජ මාලිගාවේ නටඹුන් තිබූ ඉසව්වට ලගාවිමට අපිට හැකි වුණි. අපේ හෙළ රජදරුවන්ගේ විස්මිත නිර්මාණ දුටු මා මනසින් දඹදෙණි යුගයට ගියා සේ හැගුණි. මේ මාලිගාවේ කෙතරම් අභිමානයෙන් එකල රජවරුන් කාලය ගෙවන්නට ඇත්ද? අද මෙතරම් සුන්දර මෙතන එදවස සුරපුරයක් සේ වන්නට ඇත. රජ මාලිගයට අවශ්‍ය ජල පොකුණු, ප්‍රාකාර, ගල් වැටි ආදී සියලුම අංගයන්ගෙන් පර්වත මුදුන සමන්විත විය. ඒවායෙහි නටඹුන් අදද දක්නට ඇත..

රජ මාළිගය නටඹුන්

රජ මාළිගය නටඹුන්



රජ මාළිගය නටඹුන්
               
               මාළිගය ඉදිරිපස ගල් තලාව මත ඉදිකිරීමක සලකුනු තිබිණි. එය මාළිගයට ආරක්ෂාවට තිබු ආරක්ෂක කුටියක් යැයි සිතිය හැක.ගල් මත වු විවර ලී කණු සිටුවීමට භාවිතා කරන්නට ඇත.රජ මාළිගයට මදක් දුරින් ජල පොකුණක්ද දැකිය හැක. සෑහෙන තරමක විශාල මෙය රජ සමයෙ ස්නානය සදහා භාවිතා කරන්නට ඇතැයි සිතිය හැක.
මාළිගය ඉදිරිපස ගල් තලාව මත ඉදිකිරීමක සලකුනු 

ජල පොකුණ

ජල පොකුණ දක්වා මාවත

                ජල පොකුණ පසු කර මද දුරක් ගමන් කල විට හාත්පස හොදින් දර්ශනය වන විවෘත ගල් තලාවකට පැමිණිමට හැකිවේ. මෙහිද ගල් තලාව මත සමචතුරශ්‍රකාර විවර රාශියක් දැකිය හැකි විය. එකල මෙහිද ආරක්ෂාවට නිරීක්ෂන කුටි හෝ යම් ඉදකිරීමක් සාදා තිබෙන්නට ඇතැයි සිතිය හැක..


                එහි මද වෙලාවක් සිටි අප ආපසු හැරුනේ තවමත් නොගොස් සිටි ගල මුදුනට යාමේ අරමුණෙනි. නැවත මාළිගය අසලට ආ අප හට පෙනී ගියේ මාළිගය පිටුපසින් තවත් අඩි පාරක් ඇති බවයි. එම අඩි පාර තවත් ගල් කුලක් මුදුනට ඇදී යයි..එයද හාත්පස පෙනෙන විවෘත ගල් තලාවක් විය..සෑම තැනම පාහේ පෙර සේම ගල් තලාව මත විවර දැක ගන්නට තිබුනි. මෙහි සිට දුරින් ඇති වඩුවා කෙටු ගලද දැකගත හැකියි.


                ගමනාන්තයට ලංවෙමින් සිටි අප හට හදිසියේම වැලලී තිබු උළු කැබලි කිහිපයක් දැකගත හැකි විය. හොදින් නිරීක්ෂනය කිරීමේදි විසිරී තිබු තවත් උළු කැබලි සොයා ගැනීමට හැකිවිය. අතින් නිමවා තිබු මේවා කුමන කාලයකට අයත් දැයි අවබෝධයක් අප හට නොතිබිණි..පෙනුමෙන් නම් එතරම්ම පැරණි බවක් දිස් නොවුනද දඹදෙණි යුගයෙන් පසු මෙහි කිසිදු ඉදිකිරීමක සලකුණුද දැකිය නොහැකිය.

අතරමග කෙටි විවේකයක්

වැලලුන අතීතය

            වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ගල මුදුනට ලගා වන්නට අපිට හැකි විය. හාත්පස වටපිටාව ඉතා පැහැදිලිව දැකගන්නට ගල මුදුනේ සිට අවකාශ තිබුණි.ගල මුදුනට එන ගමනේදී තැනින් තැන දුටු සුන්දර ඉසව් සියල්ලම පාහේ මෙතන සිට දැකගත හැකිය..දඔදෙණිය රජ මහා විහාරය, එහි ආ ගමන් මග ආදී සියලු ඉසව් මෙහි සිට දෘශ්‍ය මානය.ගල මුදුනේ යම් මට්ටමක තද සුළගක් ද අත් විදිය හැක. අපි ගල මුදුනට වී බොහෝ වෙලාවක් මේ සුන්දරත්වය විදිමු.ඒ මතකයන් මේ ගමනින්  මාස හතරක් පසුව අද වුවද නැවුම් ලෙස මා හට දැනේ.මේ සංචාරක සටහන කියවන ඔබටත් මේ ස්ථානය දැක බලා ගන්න යන්න හිතෙන්න පුලුවන්.තමන්ගේම වාහනයකින් මේ ගමන යන එක තමයි ලේසිම ක්‍රමය.කොළඹ ඉදලා එන කෙනෙක්ට නුවර කොළඹ පාරේ (A1) ඇවිත් පස්යාල හංදියෙන් ගිරිඋල්ල පාරට (AB29) එන්න ඕන.එතනින් ගිරිඋල්ලට ඇවිත් කුරුණෑගල පාරේ දඹදෙණිය දක්වා යන්න ඕන.දඹදෙණිය විහාරයට යන පාර ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.ගමන් විස්තරය පැහැදිලි නැත්නම් කුඩා සටහනක් දාලා යන්න.මම වැඩිදුර විස්තර කියන්නම්.හැකිතරම් උදේම දඹදෙනියට එන්න පුලුවන් උනොත් දඹදෙනිය රජමහා විහාරය, දඹදෙණිය කෟතුකාගාරය හා මේ මාලිගා ගලත් නිදහසේ බලා ගන්න පුලුවන් වේව්..එන හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා මේ පුරාවස්තු හා පරිසරයට හානියක් නොවන සේ කටයුතු කරන්න කියලා.ඒ වගේම පොලිතින් භාවිතය හැකි තරම් අවම කරනවා වගේම කඩදාසි කවරයක් වත් මේ ස්ථානයේ නොදමා ඒමට කාරුණික විය යුතුයි..වියළි කාලවලදී පරිසරය දැඩි වියලි ස්වභාවයක් ගන්නා හෙයින් කිසිදු ආකාරයක් ගිනි දැල්වීමක් විශේෂයෙන්ම දුම්වැටි දැල්වීම නොකල යුතු බවද තරයේම කිව යුතුය..මෙලෙස හැසිරීමට නොහැකි අය ගෙදරට වෙලා සිටීම ඇගට ගුණය... ස්තුතියි෴
                                           
                                               ***පරිසරය සුරකින්න..පරිසරය ඔබ සුරකිනු ඇත.***

Tuesday, April 24, 2012

හුදකලාවෙ තනි නොවුන වංගු දහය


                    සෑහෙන දවසකට පස්සේ යන එන තැන් ගැන කියන්න ආවත් බතලේගල ගමනින් පස්සේ එක දිගටම වාගේ ට්‍රිප් යන්න හම්බවුනා...ඒ දේවල් ගැන ලියන්න බැරි උනේ ඒ දවස්වල තිබුන කාර්යබහුලත්වය වැඩි හින්දයි...ඒ සුන්දර මතකයන් පුලු පුලුවන් විදිහට බොලොග් අවකාශයට අරන් එන්න මම උත්සාහ කරන්නම්...කැමති කෙනෙක්ට කිරිගල්පොත්ත නැගපු හැටි.... ,  Great memories of GREAT WESTERN Hike සහ  Beauty of GREAT WESTERN ,  මහඑළිය සොබා සැරිය... වගේ ෆේස් බුක් පොටෝ ඇල්බම් වලින් ඒ මතකයන් දැක බලාගන්න පුලුවන්....මේ සංචාර/ කදු නැගිම් බොහොම සුන්දරයි..ලියන්න දේවල් පිටු ගනන් තියෙනවා ඒත් අද මම ඒ දෙවල් ගැන නෙමෙයි ලියන්න යන්නේ ගොඩක් අය අහලාවත් නැති '' වංගු දහය'' ගැන තමයි අද ''යන එන තැන්...'' වෙන් කරන්නේ...
                    මහනුවර ඉදන් මහියංගන බලා දිවෙන දහ අට වංගු මාර්ගය ගැන ගොඩක් අය අහලා තියෙනවා වගේම ඒ වංගු දහ අට පසු කරගෙන ගමන් කරලත් ඇති ඒත් කවදා හරි  වංගු දහය මාර්ගය ගැන ඔබ අහලා තියෙනවද? මම නම් මෙහෙම දෙයක් ගැන අහලාවත් තිබුනේ නෑ ..අවුරුදු නිවාඩුවට මගේ හොදම යාලුවෙක්ගේ ගමේ ඒ කියන්නේ රක්වාන යන්න මට පුලුවන් උනා..රක්වාන රත්නපුරයට ආසන්න නගරයක් කියලා දැන ගෙන හිටියත් කවදාවත් ගිහින් තිබුනේ නම් නෑ..
                    රක්වාන යෑමේ මගේ අරමුණ වුනේ රක්වාන පැත්තෙන් සිංහරාජ කැලේ බලන්න යන එකයි..කොළඹ ඉදන් රක්වාන යන කෙනෙක් A18 මාර්ගයේ ගිහින් මාදම්පේ හන්දියෙන් A17 මාර්ගයේ යන්න ඕන..A17 කියන්නේ මාදම්පේ ,රක්වාන, දෙනියාය හරහා ගාල්ලට ඇති සුන්දර මාර්ගයයි..මට මේ මාර්ගයේ මාදම්පේ ඉදන් සූරියකන්ද දක්වා කොටස බලාගන්න රක්වාන ගමනේදී පුලුවන් උනා...සිංහරාජ ආරණ්‍ය සේනාසනය , හිමිදිරි පෙදෙස ( Morning Side) බලන්න යන කෙනෙක්ට මාදම්පේ ඉදන් ගමන් කරන්න වෙන්නේ මෙන්න මේ A17 මාර්ගයෙයි...මේ ගමනේදි හිමිදිරි පෙදෙස බලාගැනීමට තරම් මා වාසනාවන්ත නොවුනත් නොසිතු පරිදි සිංහරාජ වනාන්තරයේ සුන්දර ඉසව්වක් බලන්නට තරම් මා වාසනාවන්ත වුනා...ඒ ගමනේදි අපිට හමු වු සුන්දර හුදකලා වංගු දහය තමයි මේ..........

A17 මාර්ගයේ රක්වාන සහ සූරියකන්ද අතර හමුවන වංගු දහය

                    රක්වාන ඉදන් සූරියකන්ද දක්වා වු මාර්ගය ඇත්තටම සුන්දරයි...හතරවටින් වට වු උස්වු කදු පන්ති අතරින් දිවෙන මාර්ගය විටක තේ වතු මැදින් ද විටක ඝන කැලෑව මැදින්ද වැටී තිබුනා...ඇත්තම කිව්වොත් මේ මාර්ගය ඔස්සේ ගමන රියදුරන්ටනම් එතරම් ලේසි පහසු කාර්යක් නොවන බව කිවයුතුමයි.. අසීරු වැලමිට වංගු දහයට අමතරව කුඩා වංගු විශාල ප්‍රමාණයකින් මාර්ගය සමන්විත වෙනවා....වංගු දහය පිහිටා තිබෙන පෙදෙස කිසිදු මිනිස් වාසයක් නොමැති හුදකලා කැලැ පෙදෙසක් හරහා වැටී තිබෙනවා..රාත්‍රී කාලයේදි මේ පෙදෙසේ කිසිදු ආලෝකයක් නොමැති බවද පැවසිය යුතුමයි....


වංගු දහය සහිත රක්වාන සූරියකන්ද කොටස....

වංගු දහය 
   
      ඔන්න එහෙනම් අපි දැන් වංගු දහය බහින්නයි ලැහැස්තිය..කට්ටියම සීට් බෙල්ට් දාගෙන ලැහැස්ති වෙනව හොදයි :) :)


දසවන වංගුව




නමවන වංගුව



අටවන වංගුව

ගාල්ලේ සිට කි.මි 120 දුරින්....



හත්වන වංගුව




හයවන වංගුව





පස්වන වංගුව


හතරවන වංගුව


තුන්වන වංගුව

මහන්සිද? එහෙනම් මෙන්න කියාපු තැන....

තෙවැනි වංගුව අසලින් ගලායන සුන්දර දිය දහර....

දෙවැනි වංගුව




පලමුවන වංගුව





       ම්ම්ම් කොහොමද දැනෙන්නේ? මම හිතනවා සුන්දර අත්දැකීමක් වෙන්න ඇති කියලා...මට නම් ඇත්තටම මේක සුන්දර අත්දැකීමක් උනා...වෙනසකටත් එක්ක මේ වගේ පාරකත් දවසක ගිහින් බලන්න..සිංහරාජ ආරණ්‍ය වගේම ඉතාම සුන්දර හිමිදිරි පෙදෙසත් නරඹලා එන්න අමතක කරන්න එපා....හැබැයි ඉතාම පරිස්සමින් රිය පැදවීමට වගේම රාත්‍රී කාලයේ මේ ඉසව්වේ ගමන් නොකිරීමටත් මතක තබා ගැනීම සෑහෙන වැදගත්......

(කතෘ අයිතිය සුරකින්න...අවසරයකින් තොරව කිසිවක් උපුටා ගැනීම තහනම්.)

                       ***පරිසරය සුරකින්න..පරිසරය ඔබ සුරකිනු ඇත.***