ඒ අනුව අපගේ චාරිකාව නන්පෙරියල් වලින් ඉහළට යාම වෙනුවට මහඑළියෙන් බෙලිහුල්ඔයට පහළට බැසීමට තීරණය විය. කැම්ප් සයිට් එක වෙන්කරවාගැනීමට බත්තරමුල්ල ජයන්තිපුර පාරේ පිහිටා තිබෙන වනජීවී කාර්යාලයට යාමට සිදුවිය. වනජීවී දෙපාර්තමේන්තුව හා කාර්යාලය පටලවාගැනීම නිසා අප කාර්යාලයට යන විට වෙන්කිරීම් කරන කාල සීමාව පසු වී තිබිනි. වෙන්කිරිම් සිදුවන්නේ සවස 3.30 වනතෙක් පමණක් බව අසන්නට ලැබුනි.කෙසේ හෝ පසු දින පැමිණ කැම්ප් සයිට් 3 වෙන්කරවාගැනීමට හැකිවිය. මහඑළිය තැන්නේ කැම්ප් සයිට් 3ක් පිහිටුවා තිබේ. එයින් සුන්දරම හා නිස්කලංක ස්ථානයක පිහිටා ඇත්තේ කැම්ප් සයිට් 3යි. එය වෙන්කරවා ගැනීමට සංචාරකයන් අතර යම් තරගයක් තිබෙන බවද නොරහසකි. ඔබ කැම්ප් සයිට් 3 වෙන්කරවාගැනීමට බලාපොරොත්තු වෙනවා නම් සති කිහිපයකට කලින් එය කරවා ගැනීම අනිවාර්යයි.කැම්ප් සයිට් එකක් 10 දෙනෙකුට වෙන්කරවා ගන්න පුලුවන්. 10 දෙනාටම අයකිරිම රුපියල් 2464ක් පමනයි.ඔබ කැම්ප් සයිට් එකක් වෙන්කරවාගෙන පයින් මහඑළියට ඇතුල්වෙනවනම් වෙනම ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර ගන්න අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැ . වාහනයකින් නම් එන්නේ වාහනයට අදාල ගාස්තුව ගෙවන්න වෙනවා.
කැම්ප් සයිට් වෙන්කරවාගැනීමේ අවසරපත |
දැන් සියල්ල සුදානම්. ගමනට අදාල අවශ්‍ය හැමදෙයක්ම ලකලැහැස්ති කරගෙන සිකුරාදා හවස රජා ප්රමුඛ පිරිවර කොළඔ කොටුවට පිටත් කර මම ටෙන්ට් ආදිය රැගෙන පොල්ගවෙලින් දුම්රියට නගින්නට සුදානම්. රාත්‍රි 9.30 පහුවෙලා ස්වල්ප වෙලාවකින් අපිව ඔහියට අරන් යන නයිට් මෙල් ට්‍රේන් එක වෙදිකාවට ලගාවුනා.අපේ සෙට් එක ෆුට් බෝඩ් එක බදු අරන්..ගෙදර වගේ.." ඇයි යකෝ සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් තොපි මේ ෆුට් බෝඩ් එකක් බදාගෙන?? බලපන් මම නැතිව උබලට සීට් එකක්වත් අල්ලගන්න බැනේ '' ඔටුවා හඩ අවදි කලේ ''මං කිව්වේ මේකා ඕක කියයි කියලා'' කස්ටිය එක එකා එක වෙලාවල්වලට කොළඔට ආපු නිසා මරාදානෙන් සීට් අල්ලගන්න නොහැකි වී ඇත. කෙසේ හෝ ෆුට් බෝඩ් එක සැප යහන කරගෙන හොදට නිදාගන්නට මම පසුබට නොවුනේ මෙවැනි අත්දැකිමී මීට පෙර කිහිපවතාවක්ම විද ඇති නිසාවෙනි. වැලයගේ දෙවැනි දුම්රිය චාරිකාව නිසා පොරට සෑහෙන ප්‍රශ්න උද්ගතවී තිබිනි. අරක ඇයි මෙහෙම වෙන්නේ මේක මෙහෙම ඇයි? ප්‍රශ්න කෝටියකි. මිනිහා ෆුට් බෝඩ් එකේ නිදාගත්තේද නැත. රැය එළිවෙනතුරු නිෂානයා සමග නොනිදා පහන් කළේය. රජා ඝන අන්දකාරයේ ඔටුවා සමග ෆුට් බෝඩ් එකේ මොනවාදෝ ගැන ලොකු කතාවකය. උන් දෙන්නාටද නිදිමතක් නැති සේය. මහ රෑ හොදට නින්ද ගොස් සිටි මා ඇහැරුව්වේ ටිකට් පරීක්ෂක මහතුන්ය. පලමු පන්තියේ පාස් එකක් සහිතව ෆුට් බෝඩ් එකේ නිදාගෙන යන මා දැක ඔවුන් මොනවා සිතුවා දැයි මම නොදනිමි.නානුඔයදි අප සියලු දෙනාටම අසුන් ලැබුනද එවිට නිදිමතක් අහලකවත් නොතිබිනි. දැඩි ශිතල නිසා මුළු ඇගම ගල් වී සේය. ස්විටර් අත්මේස් තිබුනද ඒ සියල්ල බැග් එක තුල ගුලිවීය. ඒවා ගැනීමට යැමට සිත් නොවිනි. නුවරඑළියේ යන්නේ සිතලේ ඉන්ට නොවැ ඉතින් සීතලද උපරිමෙයෙනම් විදිමට අප පසුබට නොවුනි.
පාන්දර 5 කණිසමට කිට්ටු වන විට අප ඔහිය දුම්රිය පලේය. ගාමිණි අයියා අප එනතුරු දුම්රිය පලේ සිටියේය. ගාමිණි අයියා යනු ඔහිය දුම්රිය පොල ඉදිරියේ නවාතැන් ස්ථානයක් හා මහඑළියට ප්‍රවාහන පහසුකම් සපයන්නෙකි. හිත හොද මනුස්සයෙකි.අපිට වරක් නොව කිහිප වරක් උදව් උපකාර කල අයෙකි.ඔබ මහඑළියට ප්‍රවාහන පහසුකම් බලාපොරොත්තු වනවානම් හෝ ඔහියේ නවාතැන් පහසුකම් බලාපොරොත්තු වනවානම් ගාමිණි අයියාට ඇමතුමක් ගෙන විස්තර අසාගත හැක.ඔහුගේ දුරකතන අංකය වන්නේ 0574914266. ගාමිණී අයියගේ රොටි සංග්‍රහයෙන් පසු අප ඔහුගේ වැන් රථයෙන් මහඑළිය දක්වා ගමන් කරන්නට විය. කාලගුණය ඉතා යහපත්ය.අවට වට පිටාව මනාව පැහැදිලිය.ඇත කදු මුදුන් විහිදි යන ආකාරය වාහනයේ සිට ආසාවෙන් නැරඹුවෙමු. උදේම ගෝන රංචු තණ පිටියේ කැම බුදින ආකාරය මනස්කාන්ත දර්ශනයක් විය.මහඑළිය ඔහිය පිවිසුමෙන් ඇතුළු වු අප සංචාරක මධ්‍යස්ථානය හා කාර්යාලය අසලින් ගාමිණි අයියට සමුදුනෙමු.
සැලසුමට අනුව උදේම අප කලයුතුව තිබුනේ කිරිගල්පොත්ත කදු තරණයයි. බඩු බාහිරාදිය සියල්ල කාර්යාලයේ තබා අවශ්‍යම කරන දේවල් බැගවලට අසුරා කෝඩුකාරයෝ 4 දෙනෙක් සමග කිරිගල්පොත්ත තරණය කිරිමට මා පිටත් විය. මීට ඉහත එක් වරක් මා කිරිගල්පොත්ත තරණය කර තිබිනි.මහඑළිය තැන්න තුල තරණය කල හැකි කදු දෙකක් පිහිටා තිබේ. උසින් දෙවැනි තැනට ඇති කිරිගල්පොත්ත (උස මීටර් 2395) සහ උසින් තෙවැනි තැන තොටුපල කන්ද( උස මීටර් 2359) ඒ අතර වේ. අග්‍රා බෝපත් වැනි කදු මහඑළිය තැන්න තුල පිහිටා තිබුනද ඒවා තරණයට අවසර නැත. කිරිගල්පොත්ත ස්වභාවික මංපෙත (Nature Trail) යනු තරමක් දුෂ්කර කදු තරණයකි. කිලෝ මිටර් 7ක් ගමනාන්තයට තිබේ. කදු නැගිම් බැසීම් මෙන්ම තැන්නේ ඇවිදිමටද මෙම මංපෙත හරහා ගමන් කරන්නට සිදුවේ. ගමනේ අවසාන මීටර් කිහිපය ඉතා පරිස්සමෙන් ගමන් කල යුතු අතර දෙපසට බැවුම් වු පටු තීරුවක ඉහලට නැගිමට සිදුවේ.තොටුපල කන්ද ස්වභාවික මංපෙත කුඩා කාලයකින් සම්පුර්ණ කරගත හැකි ලේසි කදු තරණයකි. කදු මුදුනට කිලෝමීටර් 2ක දුරක් ඇත.
![]() |
මහඑළිය සිතියම (විශාලනයට ජායාරූපය මත ක්ලික් කරන්න) |
ඉහත සිතියමේ කොළ පැහැයෙන් දැක්වෙන මංපෙත කිරිගල්පොත්ත කදුමුදන දක්වා යන ස්වභාවික මංපෙතයි.රතු පැහැයෙන් දැක්වෙන්නේ මහඑළයට ඇති ප්‍රධාන පිවිසුම් මාර්ග 3යි. ඒ අතරින් දයගම මාර්ගය වනජීවී එක විසින් වසාදමා ඇත. වර්තමානයේදී නීත්‍යානුකුලව භාවිතා වන්නේ පට්ටපොල සිට ඇති පිවිසුම් මාර්ගයත් ඔහිය සිට ඇති පිවිසුම් මාර්ගයත් පමණයි. එම පිවිසුම් දෙකේදිම ඇතුල්වන්නට අවසරපත් ලබාගැනීමට කාර්යාල පිහිටුවා තිබේ. ඔහිය හා පට්ටිපොල දෙසින් ඇති මාර්ග දෙකෙන්ම මහඑළිය සංචාරක මධ්‍යස්ථානය දක්වා ආසන්න වශයෙන් කිලෝ මිටර් 11 ක දුරක් පවතියි. මහඑළිය තැන්න තුල ඉහත කදු තරණයන්ට අමතරව නීත්‍යානුකුල වන්නේ ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ස්වභාවික මංපෙත පමණයි. මහඑළියට එක් වරක් හෝ ගොස් ඇති අයෙකු මෙම වෘත්තාකාර මංපෙත ගැන නොදැන සිටිය නොහැක. මක්නිසාද මහඑළිය(හෝර්ටන් තැන්න) කියා සියලුම දෙනා බලන්නට යන්නේ ලෝකාන්තය හා බේකර්ස් ඇල්ල පමණක් වීමයි.
මහඑළිය ගැන ලිවීමට බොහෝ දේ තිබුනත් අපේ ගමන ගැන ලිවිය යුතු නිසා වැඩිදුර කරුණු ඉඩ තියෙන විදිහට දාන්නම්. අපි කිරිගල්පොත්ත චාරිකාව පටන් ගන්නකොට වෙලාව හරියටම උදේ 7යි.අපේ ටීම් එකේ කට්ටිය මුලින්ම බැලුවේ නගින්න යන කන්ද පේනවද කියන එකයි.ඒත් වෙන කදු නැගීම් වල වගේ කිරිගල්පොත්ත කදු තරණයේදි අවසාන මොහොත වෙනකම් ගමනාන්තය පැහැදිලිව දැකගන්න ලැබෙන්නේ නැ.තණබිමෙන් ආරම්බ කරපු ගමන කටුගස් ගොන්නක් මැදින් වැටී තිබුනා.
ආරම්බය |
අපි ලැහැස්තියි... |
ගමනාරම්බය |
කටු පදුරු මැදින් |
පේන මානයක කන්දක් නැ |
මොකුත් දැක්කේ නම් නැ හැබැයි... |
ගිනි ගත් අඩවිය පසුකරමින් |
ගින්නට අසුවු ප්‍රදේශය |
අපේ ගමන තැන්නෙන් වනලැහැබකට අවතීර්ණ වුනා. මග දෙපස බට පදුරු වලින් ගහන මේ අඩිපාර විටෙක නැග්මක්ද විටක් බැස්මක්ද සහිතව වැටී තිබුනා.
කෙමෙන් කෙමෙන් වන ලැහැබට |
ගමන අතරතුර හදිසියේම අපේ හර්ෂන මලයා අඩි සටහනක් දැක අපහට පෙන්වීය. දුටු සැනින් කොටියෙකුගේ අඩියක් බව අපිට හැගුනත් තව දුරටත් සෝදිසි කිරිමට අප යුහුසුළු විය. අප යන මාර්ගයේ අප දෙසට දිගටම අඩි සටහන් වැටී තිබුනා. ටික දවසකට කලින් වැටුන වර්ෂාවක් නිසා පස බුරුල් වු තැන්වල පමණක් අඩි සටහන් දකින්න පුලුවන් උනා.ඉදිරියටම සෝදිසි කරමින් යන විට ගෝනෙකුගේ යැයි සැකකල හැකි කුර සහිත අඩි සටහන් ද දැකගන්න පුලුවන් උනා. ගෝනා සහ කොටියාගේ පා සටහන් වැටී තිබුනේ එකම දිශාවකටයි.ඒක නිසා ගෝනා පසු පස ගිය කොටියෙකුගේ අඩි සටහන් කියලා හිතන්න පුලුවන්.පා සටහන් දෙස බැලිමේදි කොටියා ප්‍රමාණයෙන් සැහෙන ලොකු එකෙක් කියලා හිතන්න පුලුවන්.ගෝනා නම් පෙනුමෙන් පැටියෙක් වගෙයි.
මහඑළිය තැන්න තුල කොටින් 35 ත් 40ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව වනජීවි නිලධාරන්ගේ අදහසයි. ආහාර සුලභත්වය, දැඩි ආරක්ෂාව හා බෝවිමට හිතකර මනුෂ්‍ය බලපැම් වලින් තොර පරිසර තත්ව නිසා මීට වඩා වැඩි කොටින් සංඛ්‍යාවක් මෙහි සිටිය හැක.කොටියා නැත්නම් දිවියා ගැන බොහෝ දෙනා හරිහැටි නොදන්නා බව මා අත්දැකීමේන් දනි. බොහෝ දෙනෙක් පවසන ආකාරයට කොටියා සහ දිවියා යනු සතුන් දෙදෙනෙකි. ඔවුන්ට අනුව කොටි මෙහි නැත.මෙහි ඇත්තේ දිවියන් පමණි. මෙහි දිවියන් ඇති බව සැබෑය නමුත් කොටියා යනු ලංකාවට පමණක්ම ආවේනික දිවියාගේ උප විශේෂයක් බව බොහෝ දෙනෙක් නොදනියි. ඇත්තටම ඔබද මේ පටලැවිල්ලේ සිටින්නකු විය හැක. කෙටියෙන් ඒ ගැන කිව්වොත් දිවියා (Leopard) අයත් වෙන්නේ පැන්තේරා (Panthera) කියන ගනයටයි. විද්‍යාත්මක නාමය තමයි පැන්තේරා පාඩුස් (Panthera pardus).දිවියන්ගේ උප විශේෂ ලෝකය පුරා විසිරි සිටිනවා.ලංකාවෙන් වාර්තා වෙන්නේ ලංකාවට පමණක් ආවේණික දිවියාගේ උප විශේෂයක් වන පැන්තේරා පාඩුස් කොටියා (Panthera pardus kotiya) නැත්නම් අප දන්නා හදුනන කොටියායි. මීට දශකයකට විතර කලින් ශ්‍රී ලංකාවට ආවේනික මෙම සත්වයා ගැන පැහැදිලි හැදින්වීමක් තිබ්බෙ නැ. ලංකාවේ ජීවත් වන දිවියාද ඉන්දියාවේ ජීවත් වන දිවියාගේ උප විශේෂයම බවට එකල පිලිගැනුනා. නමුත් ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ උත්සාහයෙන් නිවැරදි හදුනාගැනීම කරන්නට හැකියාව ලැබුනා. ලංකාවට පමණක් ආවේනික මෙම සත්ව විශේෂය රැක ගැනීම සැම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක්.ශ්‍රී ලංකාවම සැලකුවත් ඉතා අඩු කොටි ගහණයක් තමයි වාර්තා වෙන්නේ.දිවියා නැත්නම් කොටියා සමග පටලවාගන්නා අනිත් සත්ව විශේෂය වන්නේ ව්යඝ්රයායි (Tiger). ව්‍යාඝ්‍රයන් ලංකාව තුල හමුවන්නේ සත්ව උද්‍යානය තුල පමණයි. බෙංගාලි කොටියා යන නමින් වැරදි ව්‍යවහාරයක් පවතින නිසාත් LTTE සංවිධානය, කොටි සංවිධානය යනුවෙන් සිංහලෙන් හැදින්වීමට යාම නිසාත් මේ අවුල ඇති වී ඇති බව පැහැදිලියි. ඇත්ත වශයෙන්ම LTTE සංවිධානය හැදින්විය යුත්තේ ව්යාඝ්ර සංවිධානය විනා කොටි සංවිධානය යන්නෙන් නොවෙයි. එවිට අප ඔවුන්ට , ඔවුන්වත් බලාපොරොත්තු නොවු මේ බිමේ අයිතියක් ආරූඩ කලා වැනියි.කෙසේ වෙතත් කොටි ගැන කතාව දිග්ගැසුනා වැඩි නිසා මෙතනින් ඉදිරියට ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ.මේ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් මෙතනින් විකිපිඩීයා සහය පතන්න පුලුවන්.
ඔබ කිරිගල්පොත්ත සංචාරයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවනම් හැකිතරම් උදෙන් ගමන පටන් ගැනිමත් හතර පස් දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ගමනට සහභාගි කරවා ගැනීමත් ඔබගේ ආරක්ෂාවට වැදගත් වෙයි කියලා හිතනවා.
විවේකයක් ලද විටක |
දැන්නම් කට්ටයට හොද ගනන් |
දැඩි වෙහෙසකට පත්ව සිටි වැලයා එතනින් ඉදිරියට එකදු අඩියක්වත් තබන්නේ නැති දැඩි ස්ථාවරයක පසුවුනා. කදු මුදුන දක්වා අවසන් මිටර් කිහිපය දෙපසටම බැවුම් වු කුඩා පටු තිරුවක ගමන් කල යුතු වු නිසා වැලයා එතනින් සෙලවීමත් දැඩි ලෙස ප්‍රතික්ෂේප කලා. ඒ වෙලාවේ පැවති දැඩි මීදුම නිසා අවට පරිසරයෙන්ද එක්වුයේ භයංකාර මුසු හැගීමක්. කන්ද ඝන මීදුම් පටලයකින් වෙලා ගෙන තිබුනා. මීදුම තුරන් වු පසු අපේ හර්ෂන මලයා වැලයව ෂේප් එකේ මුදුනට රැගෙන යාමේ වගකිම බාරගත්තා. පොර කැලැපාරකින් මිනිහව භය හිතෙන ඒරියා එකෙන් එගොඩ කලා. වැලයා කදු බඩගැ හැටි මතක් වෙන වාරයක් පාසා අපිට හිනාව නවත්වා ගැනිම අපහසු කර්ත්‍යවයක් වුනා.
දෙපසට බැවුම් වු පටු තීරුව |
කදු මුදුනේ අපි සෙට් එක ( වමේ සිට දෙවැනියට සිටින වැලයගේ මුහුණ දැක්කත් හිනා යන් නැද්ද මංඅහන්නේ???) |
මීටර් 2395 උසින්..... |
මීදුම කෙමෙන් ඉවත් වෙමින් |
කිරිගල්පොත්ත කදු මුදුන |
පහලට බැවුම් වන කිරිගල්පොත්ත |
කදු මුදුනට ඇති අඩි පාර |
හරි කෙලින් පහල (රජා කියනවා වගේ වැටුනනම් තාමත් වැටෙනවා...) |
අග්‍රා බෝපත් සහ තොටුපල කදු (ලගින් පෙනෙන කදු දෙක අග්‍රා බෝපත් ඇතින් පේන්නේ තොටුපල) |
කදු මුදුන අනිත් පසෙන්.. |
දිවා ආහාරයද කදු මුදුනේදිම ලබා ගැනීමට තීරණය විය. සීරියල් ආහාරයක් හා කිරි එකතුවෙන් අපේ දිවා ආහාරය සැකසිණි. සියල්ලන් සමග ආසාවෙන් රස බැලු ඒ අහර දිව්‍ය භෝජනයකටත් වඩා වටින්නේයැයි සිතේ.
දිවා ආහාරය ගෙන ස්වල්ප වෙලාවකින් අප කන්ද බැසීමට පටන් ගතිමු. ඔටුවා ප්රමුඛ වී ගමන ආරම්භ විය. නැගිමට සාපේක්ෂව බැසිමේදි කකුල් වලට අපහසුවක් දැනුනද ඉක්මනින් ගමන සිදු විය. අපේ අරමුණ වුයේ නාගැනීමට සුදුසු තැනක් සොයා හැකිඉක්මනින් එතනින් නා ගැනීමයි. දවසකට ආසන්න කාලයක් නිදිනොලැබ එක දිගට මහන්සි වී සිටිමත් තවත් දින දෙකක දුෂ්කර ගමන් කාලසටහනක් අප ඉදිරියේ තිබිමත් නිසා අපට ස්නානයක අවශ්‍යතාව තදින්ම දැනුනි. මහඑළිය තැන්න තුල ජලමුලාශ්‍ර වල දිය නැම තහනම් වුවද අප හට වෙනත් විසදුමක්ද නොවිය.එමනිසා එන ගමනේදි හමුවු දිය පහර අපගේ නාන තොට විය.
වතුරේ උෂ්නත්වය රින අගයක තිබුනාදැයි සැක සහිතය. වතුර කෝප්පයක් හලා ගන්නා විට මුලුඇගම ගල් වී යන සේය. තත්පර 5ක් වතුරට වී සිටිමට නොහැකිය. එසේ වුවද මෙතුවක් කල් ජීවිතේ නාපු හොදම නෑම නැවේ එදාය. නැමට පෙර තිබු මහන්සිය නෑමෙන් පසු සොයාගැනීමට නොහැකි විය.ඇත්තටම වතුර ටික නම් එවෙලේ රත්තරන් වලට වඩා අගනේය.
සවස දෙකට පෙර අපට සංචාරක මධ්‍යස්ථානය කරා පැමීණිමට හැකි විනි.කාර්යාලයේ තබා තිබු බඩු බාහිරාදියද රැගෙන අපගේ කැම්ප් සයිට් එකට යාමට අපි ලහි ලහියේ සුදානම් විය.
කැම්ප් සයිට් එකේ ටෙන්ට් එක අටවාගන්න
වින්ද දුක
උදේ පාන්දර ලෝකාන්තය දක්වා ගමන
ලෝකාන්තයෙන් නගරක් ඔස්සේ බෙලිහුල්ඔයට
ගිය දුෂ්කර ගමන
මීලග කොටසින් බලාපොරොත්තු වන්න.........
කිරිගල්පොත්තේ අභිරහස සොයා ගිය රජතුමාගේ රජ සටහන පලමු කොටස මෙතනින්
කිරිගල්පොත්ත අභිරහසේ රජ ඇල්බමය මෙතනින්.
ප.ලි.
කිරිගල්පොත්ත කදු තරණය සදහා මාර්ගෝපදේශ ලිපිය මෙතනින්.
මහඑළිය අවට සියලුම මංපෙත් සදහා Lakdasun Trails and Routes මෙතනින් . (ගුග්ල් අරත් හරහා විවෘත වේ.කිරිගල්පොත්ත මංපෙත නිල් පැහැයෙන් දැක්වේ.
කිරිගල්පොත්ත මංපෙතට අදාල GPS දත්ත(Track) මෙතනින්. ( භාවිතා කිරීමට gpx file format එක support කරන GPS උපකරණයක් අවශ්‍ය වේ. අවශ්‍ය නම් ගුග්ල් අර්ත් හරහා විවෘත කල හැක. Google Earth- File - Open (select the file) - Select Ok