Sunday, August 12, 2012

ග්‍රේට් වෙස්ටර්න් කදු තරණය (පලමු කොටස)

            'ග්‍රේට් වෙස්ටර්න්' කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකක්ද? ගොඩාක් අයට මතක් වෙන්නේ කොච්චියෙන් බදුලු යනකොට හම්බවෙන ස්ටේෂන් එක වෙන්න ඕන.සමහර කෙනෙක්ට මීට අවුරුදු ගානකට කලින් රූපවාහිනියේ ගිය ලෙමන් පෆ් ඇඩ් එකත් මතක් වෙනවා ඇති..ලංකාවේ හොදම තේ වැවෙන ග්‍රේට් වෙස්ටර්න් තේ වතු යාය මතක් වෙන කට්ටියත් ඇති..ඒ සුප්‍රසිද්ධ තේ වතු යාය මායිමේ සුන්දර ස්ටේෂන් එකට පසුපසින් තියෙන ග්‍රේට් වෙස්ටර්න් කදු පන්තිය මතකයට නැගුන නම් අන්න ඒ කදු ගැටය මුදුනට ගිය කතාව තමයි අද ඔයාල කියවන්න මේ ලැහැස්ති වෙන්නේ..මගේ ජීවිතයේ මෙතෙක් කාලෙකට ලබපු හොදම කදු නැගීමේ අත්දැකීම ග්‍රේට් වෙස්ටර්න් කදු තරණය කිව්වොත් වරදක් නෑ. ඒ තරමටම ඒ ගමන මගේ ජීවිතයට වැදගත් වුනා.

          පුංචි කාලේ මම වැඩියෙන්ම ගිහින් තිබ්බේ බදුලු කිව්වොත් කෙනෙක් අහයි කවුද බදුල්ලේ ඉන්නේ කියලා. ඇත්තම කිව්වොත් මගේ කිසිම කෙනෙක් බදුල්ලේ නෑ. තාත්තා දුම්රිය දෙපාර්තමේනතුවේ වැඩ කරපු නිසා අපිට ඕනම දුම්රියක නොමිලයේ ට්‍රිප් යන්න නිදහස් ප්‍රවේශ පත්‍ර හම්බුනා. අපි හැම ඉස්කෝල නිවාඩුවටම කලේ බදුලු ගිය එකයි.ඔය ගමනේදි මම ගොඩාක් ආස කලේ නැරඹුම් මැදිරියේ ඉස්සරහට වෙලා  ග්‍රේට් වෙස්ටර්න් කදු වැටිය නොපෙනී යනකම් ඒ දිහා බලාගෙන ඉන්නයි. මම ඒකට අදත් ආසයි. මාත් එක්ක ට්‍රිප් ගිය උන් දන්නවා ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියට මම  කොච්චර ඇල්මක් දක්වනවද කියලා. මම හීනෙකින් වත් හිතුවේ නෑ ග්‍රේට් වෙස්ටර්න් නගින්න පුලුවන් කන්දක් කියලා. අංශක 90 ක විතර දළ බෑවුමක් එක්ක තමයි එක එල්ලේ කන්ද අපිට පේන්නේ.. මට කදු නගින පිස්සුව ඇති වුනේ කොහොමද කියලා මම තාම ඔයාලට කියලා නෑනේ නේද? ඒක වුනේ මෙන්න මෙහෙමයි, ඔයාල සමහරු දන්නවා ඇති පොඩි මහත්තයාව, අපි එකම ඉස්කොලේ ඉගෙනගත්ත එකම ගමේ ඉන්න හොද යාලුවෝ. මමයි පොඩියි තව අපේ යාලුවෝ කිහිපදෙනකුයි එකතු වෙලා ගියා අලගල්ල නගින්න ඒ ගමනේදි මට ලැබුන අත්දැකීම් මගේ ජීවිතය නව මානයකට අරන් ගියා.කදු නගින පිස්සුව හැදුනේ එදා තමයි, ඒ ගැන කියන්න දේවල් ගොඩාක් තියෙනවා ඊලග පෝස්ට් එකෙන් අලගල්ල නැගපු හැටි කියන්නම්. 

             අද කතාව ග්‍රේට් වෙස්ටර්න් නැගපු හැටිනේ ඉතින් මම මුලින් කිව්ව විදිහට මම හිතන් හිටයේ ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ නගින්න බැරි කන්දක් කියලනේ ඒත් අපි කිරිගල්පොත්ත නැගලා ආපහු එන ගමනේදි කොච්චියේදි හම්බවුන කට්ටියක් කිව්වා එයාල ග්‍රේට් වෙස්ටර්න් කන්ද නැගලා තියෙනවා කියලා. මට ඒ කතාව එක පාරටම විශ්වාස කරන්න බැරි දෙයක් උනා. මම ගෙදර එනකම්ම හිත හිත ආවෙ මේ කන්ද නගින්න පුලුවන් නම් ඒක කොහාම හරි නගින්න ඕන කියලයි. ගෙදර ආපු ගමන් කලේ නෙට් එකේ ග්‍රේට් වෙස්ටර්න් කියලා ගුග්ල් සර්ච් එකක් කරපු එකයි. මාව පුදුම කරමින් Lakdasun වෙබ් අඩවියේ මේ ගැන සංචාරක සටහනක් තිබ්බා. මේ සටහන කියවලා එතනින් එහාට මේ ගැන විස්තර හොයාගන්න මේ සටහන ලියපු අශාන්ගෙන්  ගොඩාක් උදව් හම්බවුනා. ඒ වගේම නඩේ ගුරා පරිසර සංවිධානයේ සභාපති දිනේෂ් ඩෙකර් ගෙනුත් ලොකු සහයක් මේ ගමන සැලසුම් කිරිමේදි මට ලැබුනා. මේ ගමන යම් මට්ටමක අපහසු , අනතුරුදායක කදු නැගීමක් කියලා අපි මුල ඉදන්ම දැනගෙන හිටිය නිසා හොද සැලැස්මක් අනිවාර්ය වුනා. ඒ නිසා අශාන් හා දිනේෂ්ගෙන් ලද සහයට ඔවුන් දෙදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

  ගමනට යන්න මගේ යාලුවෝ 4ක් එකතු වුනා. දුලියා , විරාජ්කාවින්දවිදුරංග තමයි අපේ කණ්ඩායම. විරාජ්ගේ අයියගේ හොදම යාලුවා ග්‍රේට් වෙස්ටර්න් වතු යායේ එක් කොටසක වතු අධිකාරි කෙනෙක් විදහට වැඩ කරනවා.ඉතින් එයා අපිට උදව් කලා කන්ද නගින්න යන්න ගයිඩ් කෙනෙක් දෙන්න. කෝකටත් කියලා අපි තව ගයිඩ් කෙනෙක් ලැහැස්ති කරලා තියාගත්තා මොකද සේරම ලැහැස්ති කරලා ගයිඩ්ගේ ප්‍රශ්නයක් ආවොත් හෙම සැලසුම් සේරම වතුරේ නිසා. හැමදෙයක්ම සුදානම් කරගෙන ඔන්න අපි ගමනට දිනයක් දාගත්තා.

            ගමන යන්න යොදාගත්ත දවසත් ආවා. මමයි දුලියයි කාවින්දයි කොටුව ස්ටේෂන් එකේදි හමබවෙන්නත් පේරාදෙනියෙන් අනිත් දෙන්නව ගන්නත් තමයි අපේ සැලසුම. ගමනට ඕන කරන කෑම බීම සේරම ගන්න හිටයේ කොටුවෙන්. අපි තුන් දෙනා හවස 6 විතර වෙද්දි කොටුවෙදි හම්බවෙලා දුලියා ගෙනාපු කෑම 2කුත් කාලා ලහි ලහියේ ලැහැස්ති වුනා අඩුම කුඩුම ටික අරගන්න ෆුඩ් සිටි යන්න. අපේ වෙලාව කොච්චර හොදද කියනවනම් එදා ෆුඩ් සිටි එක වහලා. අහලා පහල ඉන්න කට්ටියගෙන් සුපර් මාකට් එකක් ගැන ඇහුවම එයාල කිව්වේ යුනියන් ප්ලේස් වෙනකන් ආයේ සුපර් මාකට් නෑ කියලයි. කරන්න දෙයක් නැති තැන සුපර් මාකට් හොයන වැඩේ අතහැරලා අවශ්‍ය බඩු ටික ගන්න පුලුවන් පොඩි පහේ කඩයක් හොයාගෙන අපි කොටුව පිරූවා..ලංකාවේ අගනගරය කොටුවෙන් පාන් ගෙඩියක් හොයාගන්න එදා අපිට පැයක් තිස්සේ මහන්සිවෙලා බැරි උනා. රෙදි කඩ අස්සේ කරක් ගහලා බැරිම තැන යන්තම් 7 වෙද්දි අපි කොටුව ස්ටේෂන් එක ගාවට ආවේ ටොපියක් වත් අරගෙන නෙමෙයි. විරාජ්ට කෝල් කරලා පාන් නුවරින් ගන්න කියලා අපි ගියා ස්ටේෂන් එක ඉස්සරහා කඩේට. එතනින් චොකලට්, ප්ලාස්ටර්, ගිනිපෙට්ටි වගේ දේවල් ටික අරගත්තත් කිරි බෝතල් ටික ගන්න වැඩේ කරගන්න බැරි උනා. තියෙන බඩු ටිකත් අරගෙන ඉක්මනට ස්ටේෂන් එක ඇතුලට ආවා. ඒ වෙනකොට බදුල්ල නයිට් මේල් එක වේදිකාවට ඇවිත් තිබුනේ නැ. අපි තුන්වන පන්තියෙ ප්‍රවේශ පත්‍ර අරගෙන තිබුනේ, ඒත් කලින් පුරුද්දට වගේ මම කට්ටියත් එක්ක හිටියේ දෙවැනි පන්තියේ නිදන මැදිරි නවත්තන හරියේ. කෝච්චිය ලගට ආපුහම තමයි මට මතක් උනා අපේ උන් ටිකට තියෙන්නේ තුන්වැනි  පන්තියෙ ටිකට්නෙ කියලා. පුලුවන් ඉක්මනට වේදිකාවේ ඉස්සරහට දුවගෙන ගියත් ඒ වෙනකොට තුන්වැනි පන්තියේ ෆුට්බෝඩ් එකත් බුක් වී අවසානයි. යන්තම් පැනලා ෆුට් බෝඩ් එකක් අල්ලගෙන එතන ඉදගන්නට දුලියයි කාවින්දටයි පුලුවන් උනා. මම වෙනදා වගේම වවුලා වගේ එල්ලි ගමන් කරන්නට තිරණය කලා. හරියටම රාත්‍රී 8ට අපි කොටුවෙන් පිටත් වුනා. පොල්ගහවෙලට කිට්ටුවෙන්න ඔන්න මෙන්න තියලා කාවින්දගේ ෆෝන් එක අත ලිස්සලා දුලියගේ ඔලුවෙත්  වැදිලා අන්තිමට කෝච්චියෙන් එළියට විසික් උනා..පටන් ගත්ත වෙලේ ඉදන්ම බාධා වුන උන නිසා තව මොනව වෙයිද කියලා සැකයකුත් අපේ හිත්වල තිබුනා. පොල්ගහවෙල ඉදන් වැඩි දුරක් යන්න හම්බුනේ නෑ අපේ සැකය තහවුරු වුනා. කඩිගමුවට මෙහා තියෙන බිම්ගෙය ඇතුලෙදි කොච්චියේ ආසාමාන්‍ය වේගව අඩුවීමක් පෙනුනා. මට ඒකේ වෙනස හොදටම තේරුනා.එන්ජින් එකෙන් ජවය දුන්නත් කොච්චිය අදින් නෑ වගේ දෙයක් මට දැනුනා.එන්න එන්න ම වේගය අඩු වුනා කොච්චිය යම්තම් කඩිගමුව දුම්රිය ස්ථානයට ගාට ගාට ඇවිත් නැවැත්තුවා. එන්ජින් එකේ වැරැද්දක් කියලා හිතන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.මොකද ඉස්සරහට දාලා තිබුන M6 එන්ජිම කඩිගමුවට එනකම් හොදට වැඩ කලා ඒ වගේම පිටුපසට රඹුක්කනදි සම්බන්ධකරපු M5 එන්ජිමත් තිබුන නිසා දුම්රිය නතර වීමට හේතුව එන්ජින් වල අවුලක් කියලා හිතන්න බෑ..ගොඩාක් වෙලාවට බ්‍රෙක් වල ගැටලුවක් වෙන්න ඇති කියලා අපිට හිතුනා. රියදුරන් පෙට්ටියක් පෙට්ටියක් ගානේ බලාගෙන ගියත් ලෙඩේ හොයාගන්න බැරි උනා. අපි කඩිගමුවේ ඒ වෙනකොටත් විනාඩි 45 ක් විතර නැවතිලා. ඔය අතරේ රියදුරන් දුම්රිය මාර්ගය පරික්ෂා කලා. දැක්ක දෙයින් එයාලත් පුදුම උනා..එක් රේල් පීල්ලක දිගේ දිගටම කලුතෙල්  තිබුනා.රියදුරන් 4 දෙනයි මායි ඉස්සරහට ගිහින් බැලුවා දිගටම කලු තෙල් පාර තියෙනවාද කියලා..අපි මිටර් 50 ක් විතර ඉස්සරහට ගියත් කලුතෙල් පාරේ අඩුවක් තිබුනේ නෑ.

හැලුන කලුතෙල්

පීල්ලේ තැවරී තිබු කලුතෙල්

            කවුරු හරි පාරේ කලුතෙල් ගාලා දුම්රිය ධාවනය අඩපණ කරන්න උත්සාහ කරලද කියලා රියදුරන් සැක කලා. ඒත් ස්ටේෂන් එක  ඉස්සරහ පාරේ කාටවත් නොපෙනී කලුතෙල් ගාන්න බැරි නිසා ඒ මතය බැහැර කලා. තවදුරටත් හොයලා බලද්දි ඊට ටික වෙලාවකට කලින් තෙල් කෝච්චියක් නුවර පැත්තට ගිහින් තිබ්බා ඒකෙන් කලුතෙල් පාර දිගට ලීක් වෙන්න ඇති කියලයි අන්තිමට තීරණය උනේ. ඇතිවෙලා තිබුන තත්වය නිසා දුම්රිය ඉදිරියට ධාවනය කරන්න කිසිම හැකියාවක් තිබ්බේ නෑ.රියදුරන් කොළඔ පාලක මැදිරියට තත්වය දැනුම් දුන්නා. ඔය අතරේ අපිව පහුකරගෙන රඹුක්කන පැත්තට තෙල් කෝච්චියක් ගියා ඒක අරන් ගියෙ M9 වර්ගයේ එන්ජිමකින් (M9 කියන්නේ  ලංකාවේ තියෙන එන්ජින් වලින් වැඩිම ජවයක් තියෙන එන්ජිමයි). ඇතිවෙලා තිබුන තත්වයත් එක්ක අපිට ඕන කරලා තිබ්බෙත් M9 හරි M6 හරි වර්ගයේ එන්ජිමක් තමයි. නුවර යාඩ් එකේ මේ දෙවර්ගයේම එන්ජින් එවෙලේ තියෙයි කියලා හිතන්න අමාරු නිසා අපි M5 එන්ජිමක් එනතුරු බලාන හිටියා. විරාජ් ඒ වෙනකොට පේරාදෙනියට ඇවිත් හිටියේ, විරාජ් අපිට කෝල් කරලා කිව්වා M5 එකක් පල්ලෙහාට යනවා දැක්කා කියලා. ඒ කියන්නේ අපිව බේරගන්න එන්නේ පොඩ්ඩෙක්. ආයෙත් හිතේ සැකයක් තිබ්බා M5 දෙකක් එක්ක M6 එකක් කලුතෙල් බේරෙන පාරක පෙට්ටි 13ක ලෝඩ් එකක් කොහොම කඩුගන්නව කන්ද නගින්නද කියලා..

            ඔය අතරේ රියදුරන් හිතුවා තෙල් කොච්චිය පහලට ගිය නිසා පීල්ලේ තෙල් පාර ඒකෙන් ටිකක් හරි කැපෙන්න ඇති කියලා. එහෙම හිතලා ුආයේ පාරක් කෝච්චිය පනගන්නවලා ඉස්සරහට ගන්න උත්සාහ කලා. ඒත් වැඩේ හරිගියේ නෑ. මීටර් 100 කට වඩා ඉස්සරහට යන්න හම්බ්නේ නෑ..ආයෙත් කෝච්චිය ස්ටේෂන් එකටම ගන්න උනා.දැන් අපි පැය එක හමාරකටවත් වඩා කඩිගමුවේ නැවතිලා.දුලියයි කාවින්දයයි තාම ෆුට් බෝඩ් එකේ දෙන්නා දෙපැත්තේ ඉදගෙන බාගෙට නිදි. සිරිපාදේ යන කොල්ලෝ සෙට් වලට නම් ගානක් ඇත්තෙම නැති හැඩයි. උන් ඒ වෙනකොටත් සප්පායම් වෙන්න ඕන එව්වයින් සප්පායම් වෙලා හිටපු නිසා පිස්සු විකාරෙන් සිංදු කියනවා. උන්ට කෝච්චිය ගියත් එකයි නැතත් එකයි. රියදුරන් 4 දෙනයි, ගාඩ්ලයි, අපි සෙට් එකයි, ස්ටේෂන් එකේ අයයි ඇරෙන්න වෙලා තියෙන දෙයක් අනිත් කිසිම කෙනෙක් දැනන් හිටියෙත් නැ.මගෙන් ඇහුවට මම කිව්වෙත් නෑ.කාර්මික දෝෂයක් නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වේ කියලා විතරයි ස්ටේෂන් එකෙන් දැනුම්දුන්නේ. බාධා වෙවි ආපු ගමන මෙතනින් කෙලවර වෙයි කියලා දුලියට වගේම මටත් හිතිලා තිබ්බේ. හිත හැදෙන්නත් එක්ක පහුවෙනිදා උදේ වෙනකම් ස්ටේෂන් එකේ නිදාගෙන රේල් හයික් එකක් වත් යමු කියලා අපි කතා උනා.

ඉදිරිපස M6 එන්ජිම

පසුපස M5 එන්ජිම

මගීන් නොඉවසිල්ලෙන්
            මායි දුලියයි කෝච්චිය පිටිපස්සට වෙලා පොටෝ ගගහ ඉන්න අතරේ රඹුක්කන පැත්තේ ඉදන් කෝච්චියක් එන සද්දයක් ඇහුනා..එන්ජින් එකේ සද්දේන් M9 වෙන්න ඕන කියලා දුලියට කියනකොටම මෙන්න අපි ඉස්සරහ M9 එකක්. අපිව පහුකරන් ගිය තෙල් කෝච්චියෙ එන්ජින් එක රඹුක්කනෙන් ගලවලා උඩහට එවලා තිබ්බේ අපිව තල්ලුකරන්නම කියලා නෙමෙයි. ඉස්සරහින් ගිය නයිට් මේල් එකට ප්‍රශ්නයක් නිසා ඒක බලන්නයි M9 එක ඇවිත් තිබ්බේ. කොහොම හරි දෙයියෝ බලලා වගේ වෙලාවට M9 ආපු නිසා පැය දෙකක් විතර පරක්කු වෙලා අපි කඩිගමුවෙන් පිටත් වුනා.

ගැලවුම්කරුගේ පැමිණිම

M9

රියදුරු මහතා

එක්වීමකට සුදානමින්


            කරදර බාධා මැදින් කෝච්චිය යන්තම් පේරාදෙනියට ආවා. අපි එනකම් විරාජ්ලා පොඩි නින්දක් හෙම දාලා. ඒ දෙන්නව ඉස්සරහෙ පෙට්ටියේ ෆුට් බෝඩ් එකට සෙට් කරලා අපි කට්ටියම රාත්‍රී භෝජනය මහ පාන්දර අනුභව කරන්න පටන් ගත්තා. හොද වෙලාවට විරාජ්ලට පාන් අරගන්න පුලුවන් වෙලා..නැත්නම් දවස් දෙකක් කන්න වෙන්නේ චොකලටුයි බිස්කටුයි තමයි. ඒ අත්දැකීමත් හරිම සුන්දරයි, දුලියයි කාවින්දයි ෆුට් බෝඩ් එකේ පලවෙනි පඩියේ, එච්චර වෙලා හිටගෙන ආපු මමත් දෙවැනි පඩියෙන් වාඩි වෙලා කට්ටියම එක්ක  එකතු වෙලා පාන් කෑවා..ඔය පාන් පෙත්තම ටේබල් එකක වාඩි වෙලා කනවට වඩා අමුතු රසක් අපිට එවෙලේ දැනුනා.

             විරාජ්ලටත් පොඩි කරදරයක් ස්ටේෂන් එකේ අපි එනකන් බලා ඉන්නකොට වෙලා තිබ්බා. එයාලා අපි පරක්කු නිසා පොඩි නින්දක් දාලා.ඔය අතරේ ආපු බීපු ඩයල් එකක් පොඩි කොස්සක් ඇදලා අපේ දෙන්නට. එතැන ඉන්න බැරි නිසා දෙන්න වෙන තැනකට ගිහින් , කලබලේ නිදිමතේ ගිය නිසා විරාජ්ගේ ට්‍රයි පොඩ් එක අමතක කරලා ගිහින් තියෙන්නේ. බහින්න කිට්ටු වෙලා හැටන් දිහාට ඇවිත් ට්‍රයි පොඩ් එක හොයද්දි තමයි විරාජ්ට මතක් උනේ ඒක අමතක වෙලානේ ඇවිත් තියෙන්නේ කියලා.යන්තම් හැටන් වලින් අපිට පෙට්ටිය ඇතුලට එන්න පුලුවන් උනත් ඉදගන්න හම්බවුනේ දුලියටයි කාවින්දටයි විතරයි. අපි ග්‍රේට් වෙස්ටර්න් වලට එනකොට පාන්දර 3 පහුවෙන්න ඇති. ඒ වෙලාවේ තිබ්බේ පුදුම සීතලක්..ඈතින් සමනල කන්දේ සිරිපා කරුණාව සදහා ආලෝකමත් කර තිබු හැටන් මාර්ගය දිස් වුනා...අහසේ තැනින් තැන විදුලි කෙටිම් තිබුනත් වැහි වළාකුළු තිබුනේ නෑ...ස්ටේෂන් එකේදි අපිට ස්ටේෂන් මාස්ටර් ගොඩාක් උදව් කලා. විවේක කාමරය ඇරලා දිලා දෙන්න පුලුවන් හැම පහසුකමක්ම අපිට ලබාදුන්නා. එදා ස්ටේෂන් මාස්ටර් හිටිය දොරවක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙන්නම ඕන.ඒ වගේම දොරවක මහත්මයාව ගමනට පෙරදිම මට හදුන්වා දුන් මා හිතාදර සදරුවන් කුඩාහෙට්ටි මිතුරාටත් මම ස්තුතිවන්ත විය යුතුයි.

ග්‍රේට් වෙස්ටර්න් වලට පා තැබු අවස්ථාව
          පාන්දර 6 විතර වෙනකම් නින්දක් දාගන්න  පුලුවන් කම තිබ්බත් සීතල වැඩි නිසා මට නිදාගන්න පුලුවන්කමක් තිබුනේ නැ. අනිත් අය නම් විටින් විට අඩ නින්දේ සහ මර නින්දේ පසු වු බව මම දැක්කා..යම්තම් එළිය වැටෙනකම් මම බලාසිටියේ නොඉසිල්ලෙන්..පාන්දර 6 ට විතර කට්ටියම නැගිටලා මුණ අතපය හෙම හෝදගෙන අවට වට පිටාවේ පොඩි ෆොටෝ ෂුට් එකක් දැම්මා..එතන ඉදන් කතාව මම ඊලග පෝස්ට් එකෙන් කියන්නම්.එක දිගට කියවගෙන යද්දි කියවන්නත් එපාවෙනවනේ නේද?

ප.ලි

අපිත් එක්ක ආපු විරාජ් කියන්නේ හොද වීඩියෝ එඩිටර් කෙනෙක්.එයා අතින් නිර්මාණය වුනු අපේ හයික් එකේ විඩීයෝ එක මෙතනින් බලන්න.අද පෝස්ට් එකෙන් හයික් එක ගැන කිසිම දෙයක් ලියන්න බැරි උන එක ගැන සමාව ඉල්ලනවා. එකපාරටම හයික් එක ගැන කියනවට වඩා එතනට අපි ආපු හැටි කියන එක හොදයි කියලා හිතුන නිසයි අද ටිකක් වැඩියෙන් ලිව්වේ. අද ලිවීමේ ශෛලියෙත් පොඩි වෙනසක් ඇති කලා ටිකක් සරලා කරලා ලිවීමෙන් හැමෝටම ආසාවෙන් කියවන්න පුලුවන් වෙයි කියලයි එහෙම ලිව්වේ..ඔයාලගේ අදහස් කියන්න. ඉස්සරහට ලිපි සකස් කරද්දි වැදගත් වේවි.

ප.ප.ලි

මේ ගමන අපි ගියේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයෙයි.පෝස්ට් එක දාන්න හිත හිත හිටියත් එක එක වැඩ හින්දා පරක්කු වුනා.අද තමයි ඒකටත් වෙලාවේ හම්බවුනේ.මේකේ ඉතුරු කොටස් ටික ඉක්මනටම ලියලා පෝස්ට් කරන්නම්.තව දෙයක් කියන්න අමතක උනා මේ පෝස්ට් එකේ දාලා තියෙන සමහර ඡායාරූප වල අයිතිය දුලිත සමීර සතුයි.නැවත පලකිරීමක් කරනවා නම් අයිතිකරුවන්ගේ අවසරය මත පමණක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.ජය වේවා !!!

Thursday, August 2, 2012

සිංහරාජයේ සැගවුන දිය ඇල්ලක් සොයා...(වංගු දහය දෙවන කොටස)


            කන්නෙලිය සංචාරයෙන් පස්සේ බ්ලොග් අවකාශයේ සටහනක් තබන පලමු අවස්ථාව..මුලින්ම කියන්න ඕන ඔයාල හැමෝගෙම කමෙන්ට්ස් වලට, මාව ෆලෝ කලාට ගොඩාක් ස්තුතියි කියන එක..වෙන් වෙන් වශයෙන් ස්තුති කරන්නවත් ඔයාලගේ අළුත් පෝස්ට් කියවන්නවත් පහුගිය ටිකේ මට අවස්ථාවක් ලැබුනේ නෑ..කන්නෙලිය ගමනෙන් පස්සේ කැම්පස් එකේ වැඩ කටයුතු වගේම විවිධ පෞද්ගලික කාරණා රාශියක් හින්දා සෑහෙන්න කාර්යබහුල වෙලා හිටයේ..පොරොන්දු වුන විදිහට කන්නෙලිය ගමනේ දෙවන කොටස ලියන්නවත් බැරි උනේ ඒකයි..අඩවි රජාගේ පෝස්ට් එක හරහා වගේම අළුතින් මගේ මේ පුංචි ගවේෂන ලෝකයට ආපු හැමෝම සාදරෙන් මේ පැත්තට පිලිගන්න ගමන් අද ලියන්න යන්නේ ගොඩාක් දෙනෙක් අහලාවත් නැති තැනක් ගැන පුංචි විස්තරයකුත් එක්ක ලස්සන දිය ඇල්ලක් හොයාගෙන ගිය ගමනක් ගැන සංචාරක සටහනයි...ඔයාලට මතක ඇති මීට කලින් පෝසට් එකක මම වංගු දහය ගැන සටහනක් තිබ්බා..බලපු නැති අයට මෙතනින් බලාගන්න පුලුවන්. ඒ ලිපියේදි//මේ ගමනේදි හිමිදිරි පෙදෙස බලාගැනීමට තරම් මා වාසනාවන්ත නොවුනත් නොසිතු පරිදි සිංහරාජ වනාන්තරයේ සුන්දර ඉසව්වක් බලන්නට තරම් මා වාසනාවන්ත වුනා..// කියලා කිව්වා මතක ඇති..අන්න ඒ සිංහරාජ වනයේ සුන්දර ඉසව්වට ඔයාලව ගෙනියන්න තමයි මේ සුදානම..
             එදා උදේම නැගිටලා අපි ලැහැස්ති වුනේ සිංහරාජ වනාන්තරයේ අමතක නොවන සංචාරයකට හීන පොදි බැදගෙනයි.අපි කිව්වට මේ ගමන ඇගේ ලේ මස් නහර ඔස්සේ උඩු දුවලා තිබ්බේ මා තුලින් කියලා කිව්වොත් ඒක තමයි හරි. අනිත් දෙන්නාගේම ගම රක්වාන උනත් අවුරුදු 23 වෙනකන් එයාල නිකමටවත් සිංහරාජෙ යන්න හිතලාවත් තිබුනේ නැ.මගේ පෙරැත්ත කිරිම් හමුවේ යාලුවෝ දෙන්න යම්තම් උදේ 9 විතර වෙනකොට එළියට ගන්න පුලුවන් උනා..වංගු දහය මාර්ගයෙන් තමයි සිංහරාජ බලන්න යන්න තියෙන්නේ.වංගු දහයෙන් සිංහරාජය දක්වා ගිය ගමන කලින් පෝස්ට් එකේදි මම කිවිවා.මම හිතාන හිටියේ ඇතුල්වීමේ දොරටුවකින් ඇතුල් වෙලා ටිකට්ස් හෙම අරගෙන අනිත් සංචාරකයොත් එක්ක සිංහරාජ බලන්න යන්න..හරියට වැද්දගල පැත්තෙන් සිංහරාජ යනවා වගේ..ඒත් හිතාන හිටපු දේ එහෙම නෙමෙයි කියලා තේරෙනකොට මුලදිම ඇති වුනේ ලොකු දුකක්..ඇත්තම කිව්වොත් අපි ලොකු වැරදි වැටහිමකින් තමයි මේ ගමන ඇවිත් තිබ්බේ..රක්වාන සුරියකන්ද පැත්තෙන් සිංහරාජයට කිසිම නීත්‍යානුකුලව සංචාරකයින් ඇතුල් වීමේ දොරටුවක් නැ..සුරියකන්ද ඉදන් සිංහරාජය දක්වා මාර්ගයක් තියෙනවා..ඒකේ සදහන් වෙන්නෙ සිංහරාජ ආරණ්‍යය සේනාසනයට කියලයි. ඒ කියන්නේ ඒ පාර තියෙන්නේ සිංහරාජ ආරණ්‍ය සේනාසනයට මිසක් සිංහරාජ බලන්න යන්න නෙමෙයි.අපිට ඒ ගැන ඒ හැටි වැටහීමක් නොතිබුන නිසා ඒ පාරේ ආරණ්‍ය සේනාසනය දක්වාම ගියා..ආරණයට ගියාම තමයි තේරුනේ අපි මවාගෙන තිබුන වැරදි අදහසක් කියන එක..


සිංහරාජය දක්වා.....


සිංහරාජ ආරණය සේනාසනයට පිවිසුම් මාර්ගය

පාර බෙදෙන ස්ථානය

සිංහරාජයෙන් පෝෂණය වන දිය දහර


සිංහරාජ කන්‍යාවි


         සිංහරාජ ආරණය්‍ය සේනාසනය කියන්නේ අතිශයින්ම සුන්දර නිස්කලංක පංසලක්..වැද පුදා ගැනිමට දාන මාන පිරිනැමිමට වගේම ආරණ්‍ය දැකබලා ගැනිමටත් දිනපතාම යම් පිරිසක් මේ කරා ඇදෙනවා..සිංහරාජ වනයට ඇතුල් වීමේ අදහස අත්හල අප ආරණ්‍ය දැක බලාගෙන වැද පුදා ගැනිමට කතිකා කරගත්තා...
        සිංහරාජ වනාන්තරය මායිමේ පිහිටා ඇති මේ ආරණ්‍යය අවට වනාන්තරය තුල ඓතිහාසික ගල්ලෙනක් ඇති බව අපට ආරංචි උනා..ඒ ස්ථානය දක්වා ගමන්කිරිමට තිබුනේ වනාන්තරය තුලින් වුවත් එළිපෙහෙළි කල පැහැදිලි මාර්ගයක් තිබුනා..ගල්ලෙන දක්වා ගමනේදි ඇතිවු එකම බාධාව වුයේ අඩියක් තියන්නට මත්තෙන් කකුලට ගොඩවෙන කුඩැල්ලන්ගෙන් නිසා ඇතිවු බාධාව පමණයි. සැර සබන් ජාතියක් ආලේපනයෙන් එයින් යම් මට්ටමකට මිදෙන්නට හැකි වුනත් සැහෙන්න කල්පනාකාරි වෙන්න උනා..




ගල්ලෙන දක්වා මාර්ගය

ඓතිහාසික ගල්ලෙන

       ගල්ලෙන දැක බලාගත් අපි ඊලගට ගියේ ගල්තලාවක් මත පිහාටා ඇති ආරණ්‍යයේ බුදු මැදුර හා චෛතය්‍ය දැකබලාගන්නයි...






             චෛත්‍යය හා ඒ අවට දැකබලාගෙන අප සුදානම් වුයේ ආපසු හැරී සුන්වු බලාපොරොත්තු සහිතව නිවෙස් කරා ගමන් කිරිමටයි එහෙත් මා සිටියේ කෙසේ හෝ සිංහරාජ වනාන්තරයට අඩිය තබා මිස ආපසු නොයන මානසිකත්වයයි. මගේ පෙරැත්ත කිරිම මත වනයට ඇතුල් විය හැකි මාර්ගයක් තිබේදැයි සොයා බැලිමට අනිත් දෙදෙනා යම්තම් කැමති කරවාගැනිමට මට පුලුවන් උනා..ගල්තලාව මත ඉදිරියට ඇවිද ගිය අපට තේරුම්ගියේ වනයට කිසිදු අයුරකින් අප ගමන් කරමින් සිටි දිශාවෙන් ඇතුලි විය නොහැකි බවයි. එමනිසා ඉදිරියෙන් වු නිවසකින් මේ ගැන විමසිමට අපි තිරණය කලා. නිවැසියාගෙන්  ලද ආරංචියෙන් සුන්වු බලාපොරොත්තු විකසිත වීමට පටන් ගත්තත් එය විකසිත විමට ප්‍රථම පරව යන ආරංචියද අපේ කන වැකුනා..ඔහුට අනුව පංසල අසලින් වනයට අඩිපාරක් ඇත. එය වනාන්තරය තුල ඇති දිය ඇල්ලක් දක්වා දිවෙයි ගැටලුව වනුයේ පංසල විසින් කිසිදු පුද්ගලයෙකුට  දිය ඇල්ල දක්වා ගමන් කිරිමට අවසර නොදිමයි.  කලකට ඉහත එවැනි ගැටලුවක් නොවුවද දිය ඇල්ල දක්වා ගමන් ගත් පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා දැන් එය සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ. මා සිත දිගින් දිගටම කිවේ කෙසේ හෝ මේ දක්වා ගමන් කල යුතු බවයි..අනිත් දෙදෙනාම වුයේ ආපසු නිවෙස් කරා යන මානසිකත්වයක උවද මා තවත් වරක් කෙසේ හෝ උත්සාහ කර බලන අටියෙන් ආවාස ගෙය දෙසට යන්නට තිරණය කලේ පංසලේ ලොකු හාමුදුරුවෝ මුන ගැසි කෙසේ හෝ මේ දිය ඇල්ල දැක බලා ගැනිමට අවසර ගන්නා අදහසිනි.

වනය තුලින් ඇද හැලෙන දිය ඇල්ල (විශාලනය කර බලන්න)

පුංචි හාමුදුරුවරු
           
               අපේ වාසනාවට හෝ අවාසනාවට එදින ලොකු හාමුදුරුවෝ පංසල තුල නොවීය. එමනිසා කෙසේවත් අවසර දිය නොහැකි යැයි වෙනත් හාමුදුරුනමක් පැවසීය. සෑහෙන උත්සාහකින් අනතුරුව අප සමග සිටි එක් අයකුගේ මව මෙම හාමුදුරුවෝ හැදින සිටි හෙයින් අප හට දිය ඇල්ල දක්වා යැමට අවසර ලැබිණි.අවසාන මොහොත දක්වා උන මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අපේ වෑයම සාර්ථක විය..

ඉන්පසු දියඇල්ල සොයා  යන මෙහෙයුම ආරම්බ කලේ මෙන්න මේ  විදිහටයි..




ආරම්බයේදී අඩි පාරක් තිබුනද මද දුරක් යන විට අඩි පාර දොල පාරක් පඅසලින් කෙලවර විය. එතැන් සිට වුයේ කන්ද මුදුනේ සිට ගලාගෙන එමින් තිබු දිය පාර පමණයි. අපේ වෑයම වුයේ ඉහලින් තිබු දිය ඇල්ල කරා යෑම නිසා දිය පහර ඔස්සේ ඉහලට ගමන් කිරිමට තිරණය විය.



   
         දිය පහර තැන් කිහිපයකදිම බෙදෙන අයුරු අපට පෙනුනු නිසා ආපසු පැමිණිමේදි පාර හොයා ගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරන්නට අපට සිදු විය. මාලිමාව භාවිතයට අමතරව දිය පහරවල් බෙදෙන අවස්ථාවලදි ලී දඩු සිටුවා පාර මතක තබා ගැනීමටද සිදු විය. යම් හෙයකින් පාර වැරදි වෙනත් දිය පහරක් ඔස්සේ ගියහොත් සිදුවන දෙය අමුතුවෙන් කිවයුතු නොවන්නේය. මාලිමාව නිසා ආපසු ගමනේදි පාර වැරදෙන්නට ගිය අවස්ථා කිහිපයක්ම මග හැරී ගියේ වාසනාවට වඩා පෙර සුදානමේ අගය මොනවට පැහැදිලි කරමිනි.



     දිය ඇල්ල දක්වා ගමන ඇත්තටම සුන්දර අත්දැකිමක් අපහට ගෙනෙන්නට සමත් විය. ඝන වනාන්තරයක් මැදින් දිය පහරක් ඔස්සේ ගමන ත්‍රාසජනක සේම භයංකර බවක්ද ගැබ් වී නොතිබුනා නොවේ. කිහිප විටක්ම ගල් මතින් ගමන් ගන්නා විට මා පය ලිස්සා වැටෙන්නට ගිය නමුදු වාසනාවට මෙන් කැමරාවට පමණක් සුළු හානියක් සිදුවී මා හට කිසිදු තුවාලයක් සිදු නොවිණි.



          කුඩා කල රූපවාහිනියේ ඇමසෝන් වැනි විදේශීය ටෙලි නිර්මාණ නරඔන විට මා හට දැනුනේ කවදා හෝ දවසක මෙවැනි ඝන වනාන්තරයක මාවත් අතරමංවෙනවනම් කොච්චර අපුරුද වැනි හැගිමකි. වනයේ අතරමං නොවුවත් මොහොතකට හෝ එවන් හැගීමක් සත්‍ය වශයෙන්ම විදගන්න මේ ගමනෙදි මට පුලුවන් උනා.




      ඇත්තටම සිංහරාජය කියන්නේ තාමත් කන්‍යාවියක්. ඒ කන්‍යභාවයට අබමල් රේණුවක වත් හානියක් නොකිරිමට අප සෑම මොහොතකම වග බලා ගත්තා.ඝන වනාන්තරයේ  ඉදිරි වැටී දිරා තිබු මහා ගස් කියා පෑවේ ස්වභාවධර්මය රජ කරන මේ ඉසව්වේ මිනිසා යනු නුහුරු නුපුරුදු ආගන්තුකයෙකු පමණක්මයැයි නොවේදැයි විටෙක මට සිතුණා.


 
       දිය ඇල්ල දක්වා ගමන යම් තරමක දුෂ්කර ක්‍රියාවක් වුවද මාහට කිසිදු විටක මහන්සියක් දැනුනේ නැත..ඒහෙත් මා සමග පැමිණි මිතුරන් දෙදෙනාට නම් මෙය ඉතාම දුෂ්කර කටයුත්තක් බව මට හැගි තිබුනේ තොරතෝංචියක් නැතිව ඇහුණ ''දැන් ඇති බන් ..තව නැග්ගත් ඔච්චරයි.. ගෙදර යන්න පරක්කු වෙනවා බන්'' වැනි කියමන් නිසයි..දෙදෙනා තැන් දෙකක නැවතී ගිමන් හරින විට පැය කාලක් අමාරුවෙන් ඉල්ලා ගෙන මම තනියමම ඇල්ල දක්වා දිය පහර ඔස්සේ නගින්නට  තීරණය කලා...

 



 
        මගේ අරමුණ සාර්ථක බව කියාපාමින් දිය ඇල්ල දුර තියා දැකගැනිමට මට හැකි වුන වෙලාවයි මේ. දිය ඇල්ල මුදුනටම යාමේ දැඩ් ආශාවක් මා සතු වුවත් අනිත් දෙදෙනා ඒ වන විට දිය ඇල්ල පේන මානයටවත් නොපැමිණ සිටිමත් ඔවුන් හා තවත් ඉහලට නැගිම අනාරක්ෂිත බැවිනුත් මෙතනින් ඉහලට නොයෑමට මම තිරණය කලා.


දිය ඇල්ලේ සමීප දසුනක්


ඇල්ල ආසන්නයේ සිට පෙනෙන පහල ආරණ්‍යය ප්‍රදේශය

         ආපසු ගමන තරමක වේගයෙන් සිදු වුවත් කල්පනාකිරිව ගමන් කිරිමට සිදු වුනා. කුඩැල්ලන්ගෙන් ඇති කරදර සේම පාසි බැදීම නිසා ගල් ලිස්සන සුළු වීමද සැලකිල්ලට ගත යුතු උනා...




පෙර දැක නොතිබු සලබයෙක්




ඉදුනිල්, උපුල් හා මම 

       සිංහරාජයේ දිය ඇල්ලක් සොයා ගිය අපුර්ව චාරිකාව අමතක නොවන මතකයන් රාශියක් එක්ක නිමා උනේ මෙන්න මෙහෙමයි. මම මේ පෝස්ට් එක ලියන්න හිතාන හිටපු එකක් නෙමෙයි. මගේ අරමුණ මම යන එන තැන් හැමෝ එක්කම බෙදාගෙන අනිත් අයවත් මේ තැන් බලන්න යන්න පොළඔවන එකයි.ඒත් සිංහරාජයේ මේ ඉසව්ව බලන්න යන්න කෙනෙක්ව පොළබවන්න කෙනෙක්ව යොමු කරනන්න මට අයිතියක් නෑ.  කාටහරි කෙනෙක්ට යන්න ආසාවක් තිබුනත් එයාට ඒකට අවසර නෑ. සිංහරාජ ආරණ්‍ය සේනාසනය බලන්න යන්න ඕනැම කෙනෙක්ට පුලුවන් ඒත් වනානත්තරයට ඇතුල් වීමට අවසර දෙන්නේ නෑ..ඉතින් හැමෝටම මේ ගමන යන්න අවස්ථාව නැති නිසා අඩුම තරමින් පෝස්ට් එක හරි කියවලා මේ සුන්දර තැන් දැක ගනි කියන අදිටනින් තමයි මේක මම ලිව්වේ.බොහොම ස්තුතියි෴

ප.ලි. ඡායාරූප විශාල කර බැලිමට ඒ මත ක්ලික් කරන්න..