Thursday, September 20, 2012

මහඑළිය කිරිගල්පොත්තෙන් බෙලිහුල්ඔයට ගිය දුෂ්කර පාගමන...

               ''මචන් මධුරයා නන්පෙරියල් වලින් හෝර්ටන් තැන්න ගිහිල්ලා. අපිත් යමුද බන්? '' කටහඩ අවදි වුයේ අපේ වැල අශාන්ගෙනි. ට්‍රිප් හයික් වලට එතරම් කැමැත්තක් ස්වභාවයෙන්ම නොතිබු වැලයගෙන් ඇසු ඒ වචන ස්වල්පය මට පුදුම ගෙනෙදෙන්නට විය.කටට මසුරන් දමන්නට සිත් විය :D :D .ඒත් සමගම හොද හයික් එකක පෙරනිමිති මා සිත තුල පහල විය. තැටිය රත් වුන වෙලාවේ රොටිය පුච්චාගත යුතුය. මමද ලහි ලහියේ නන්පෙරියල් ඔස්සේ මහඑළියට ( හොර්ටන් තැන්න සදහා මහඑළිය යන නම මින් ඉදිරියට මාගේ සටහන් තුල භාවිතා කරමි) ට්‍රිප් එකක් සංවිධානය කිරිමට අවශ්‍ය කරුණු සොයන්නට විය. වැලයා ගමනට ආකර්ශනය කරගැනීමට ඉන්ටර්නෙට් එකේ තිබු හොදම ට්‍රිප් රිපෝට් එකින් එක ඊමෙල් ගත කෙරිණි. එයින් වැලයාගේ ගමනට තිබු ආශාව ඉහ වහ ගොස් තිබුනි.ගමන සදහා අපේ කැම්පස් එකෙන් නිෂානුයි, අඩවි රජ හෙවත් අපේ හර්ෂන මලයායි වැඩේට කැමැත්ත දි තිබුනි. අපිත් සමග හැකි සැම විටම හයික් සදහා එකතුවෙන නාඔටුන්න සහෝදරයාත් රජා සමග පැමිණිමට නියමිතය. කරුණු මෙසේ තිබියදි මා විසින් ගමන සැලසුම් කරන්නට විය. මුලදි මගේ අදහස වුනේ බෙලිහුල්ඔය නන්පෙරියල් ඔස්සේ මහඑළියට නැග එතනින් රාත්‍රිය මහඑළය තැන්නේ කැම්ප් එකක් ගැසීමයි.පසුදින කිරිගල්පොත්ත නැග හවස් යාමෙයේ සුපුරුදු නයිට් මේලයෙන් ගෙදර ඒමටයි. එහෙත් ලැබුනු ආරංචි මාර්ග අනුව මේ වනවිට වනජීවි දෙපාර්තමේනතුවෙන් නන්පෙරියල් ඔස්සේ ඇති මාර්ගය තහනම් කර ඇත. අවසර නැතුව ඇතුල්වීම ඉතා විශාල දඩයකට යටත් වීමට හේතුවන බව ආරංචි විය. නන්පෙරියල් ඔස්සේ ඇතුල්වීමේදි වනජීවී එකට අසුවීමට විශාල ඉඩකඩක් ඇති බව පෙනිනි. මීට පෙර මෙම හයික් එක ගිය කිහිප දෙනෙකුගේ ට්‍රිප් රිපෝට්, අදහස් හා මාර්ගෝපදේශ සලකා බැලිමෙන් අවසාන නිගමනයකට එළැබුනි.

               ඒ අනුව අපගේ චාරිකාව නන්පෙරියල් වලින් ඉහළට යාම වෙනුවට මහඑළියෙන් බෙලිහුල්ඔයට පහළට බැසීමට තීරණය විය. කැම්ප් සයිට් එක වෙන්කරවාගැනීමට බත්තරමුල්ල ජයන්තිපුර පාරේ පිහිටා තිබෙන වනජීවී කාර්යාලයට යාමට සිදුවිය. වනජීවී දෙපාර්තමේන්තුව හා කාර්යාලය පටලවාගැනීම නිසා අප කාර්යාලයට යන විට වෙන්කිරීම් කරන කාල සීමාව පසු වී තිබිනි. වෙන්කිරිම් සිදුවන්නේ සවස 3.30 වනතෙක් පමණක් බව අසන්නට ලැබුනි.කෙසේ හෝ පසු දින පැමිණ කැම්ප් සයිට් 3 වෙන්කරවාගැනීමට හැකිවිය. මහඑළිය තැන්නේ කැම්ප් සයිට් 3ක් පිහිටුවා තිබේ. එයින් සුන්දරම හා නිස්කලංක ස්ථානයක පිහිටා ඇත්තේ කැම්ප් සයිට් 3යි. එය වෙන්කරවා ගැනීමට සංචාරකයන් අතර යම් තරගයක් තිබෙන බවද නොරහසකි. ඔබ කැම්ප් සයිට් 3 වෙන්කරවාගැනීමට බලාපොරොත්තු වෙනවා නම් සති කිහිපයකට කලින් එය කරවා ගැනීම අනිවාර්යයි.කැම්ප් සයිට් එකක් 10 දෙනෙකුට වෙන්කරවා ගන්න පුලුවන්. 10 දෙනාටම අයකිරිම රුපියල් 2464ක් පමනයි.ඔබ කැම්ප් සයිට් එකක් වෙන්කරවාගෙන  පයින් මහඑළියට ඇතුල්වෙනවනම් වෙනම ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර ගන්න අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැ . වාහනයකින් නම් එන්නේ වාහනයට අදාල ගාස්තුව ගෙවන්න වෙනවා.


කැම්ප් සයිට් වෙන්කරවාගැනීමේ අවසරපත

            දැන් සියල්ල සුදානම්. ගමනට අදාල අවශ්‍ය හැමදෙයක්ම ‍ලකලැහැස්ති කරගෙන සිකුරාදා හවස රජා ප්‍රමුඛ පිරිවර කොළඔ කොටුවට පිටත් කර මම ටෙන්ට් ආදිය රැගෙන පොල්ගවෙලින් දුම්රියට නගින්නට සුදානම්. රාත්‍රි 9.30 පහුවෙලා ස්වල්ප වෙලාවකින් අපිව ඔහියට අරන් යන නයිට් මෙල් ට්‍රේන් එක වෙදිකාවට ලගාවුනා.අපේ සෙට් එක ෆුට් බෝඩ් එක බදු අරන්..ගෙදර වගේ.." ඇයි යකෝ සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් තොපි මේ ෆුට් බෝඩ් එකක් බදාගෙන?? බලපන් මම නැතිව උබලට සීට් එකක්වත් අල්ලගන්න බැනේ '' ඔටුවා හඩ අවදි කලේ ''මං කිව්වේ මේකා ඕක කියයි කියලා'' කස්ටිය එක එකා එක වෙලාවල්වලට කොළඔට ආපු නිසා මරාදානෙන් සීට් අල්ලගන්න නොහැකි වී ඇත. කෙසේ හෝ ෆුට් බෝඩ් එක සැප යහන කරගෙන හොදට නිදාගන්නට මම පසුබට නොවුනේ මෙවැනි අත්දැකිමී මීට පෙර කිහිපවතාවක්ම විද ඇති නිසාවෙනි. වැලයගේ දෙවැනි දුම්රිය චාරිකාව නිසා පොරට සෑහෙන ප්‍රශ්න උද්ගතවී තිබිනි. අරක ඇයි මෙහෙම වෙන්නේ මේක මෙහෙම ඇයි? ප්‍රශ්න කෝටියකි. මිනිහා ෆුට් බෝඩ් එකේ නිදාගත්තේද නැත. රැය එළිවෙනතුරු නිෂානයා සමග නොනිදා පහන් කළේය. රජා ඝන අන්දකාරයේ ඔටුවා සමග ෆුට් බෝඩ් එකේ මොනවාදෝ ගැන ලොකු කතාවකය. උන් දෙන්නාටද නිදිමතක් නැති සේය. මහ රෑ හොදට නින්ද ගොස් සිටි මා ඇහැරුව්වේ ටිකට් පරීක්ෂක මහතුන්ය. පලමු පන්තියේ පාස් එකක් සහිතව ෆුට් බෝඩ් එකේ නිදාගෙන යන මා දැක ඔවුන් මොනවා සිතුවා දැයි මම නොදනිමි.නානුඔයදි අප සියලු දෙනාටම අසුන් ලැබුනද එවිට නිදිමතක් අහලකවත් නොතිබිනි. දැඩි ශිතල නිසා මුළු ඇගම ගල් වී සේය. ස්විටර් අත්මේස් තිබුනද ඒ සියල්ල බැග් එක තුල ගුලිවීය. ඒවා ගැනීමට යැමට සිත් නොවිනි. නුවරඑළියේ යන්නේ සිතලේ ඉන්ට නොවැ ඉතින් සීතලද උපරිමෙයෙනම් විදිමට අප පසුබට නොවුනි.

               පාන්දර 5 කණිසමට කිට්ටු වන විට අප ඔහිය දුම්රිය පලේය. ගාමිණි අයියා අප එනතුරු දුම්රිය පලේ සිටියේය. ගාමිණි අයියා යනු ඔහිය දුම්රිය පොල ඉදිරියේ නවාතැන් ස්ථානයක් හා මහඑළියට ප්‍රවාහන පහසුකම් සපයන්නෙකි. හිත හොද මනුස්සයෙකි.අපිට වරක් නොව කිහිප වරක් උදව් උපකාර කල අයෙකි.ඔබ මහඑළියට ප්‍රවාහන පහසුකම් බලාපොරොත්තු වනවානම් හෝ ඔහියේ නවාතැන් පහසුකම් බලාපොරොත්තු වනවානම් ගාමිණි අයියාට ඇමතුමක් ගෙන විස්තර අසාගත හැක.ඔහුගේ දුරකතන අංකය වන්නේ 0574914266. ගාමිණී අයියගේ රොටි සංග්‍රහයෙන් පසු අප ඔහුගේ වැන් රථයෙන් මහඑළිය දක්වා ගමන් කරන්නට විය. කාලගුණය ඉතා යහපත්ය.අවට වට පිටාව මනාව පැහැදිලිය.ඇත කදු මුදුන් විහිදි යන ආකාරය වාහනයේ සිට ආසාවෙන් නැරඹුවෙමු. උදේම ගෝන රංචු තණ පිටියේ කැම බුදින ආකාරය මනස්කාන්ත දර්ශනයක් විය.මහඑළිය ඔහිය පිවිසුමෙන් ඇතුළු වු අප සංචාරක මධ්‍යස්ථානය හා කාර්යාලය අසලින් ගාමිණි අයියට සමුදුනෙමු.

           සැලසුමට අනුව උදේම අප කලයුතුව තිබුනේ කිරිගල්පොත්ත කදු තරණයයි. බඩු බාහිරාදිය සියල්ල කාර්යාලයේ තබා අවශ්‍යම කරන දේවල් බැගවලට අසුරා කෝඩුකාරයෝ 4 දෙනෙක් සමග කිරිගල්පොත්ත තරණය කිරිමට මා පිටත් විය. මීට ඉහත එක් වරක් මා කිරිගල්පොත්ත තරණය කර තිබිනි.මහඑළිය තැන්න තුල තරණය කල හැකි කදු දෙකක් පිහිටා තිබේ. උසින් දෙවැනි තැනට ඇති කිරිගල්පොත්ත (උස මීටර් 2395) සහ උසින් තෙවැනි තැන තොටුපල කන්ද( උස මීටර් 2359) ඒ අතර වේ.  අග්‍රා බෝපත් වැනි කදු මහඑළිය තැන්න තුල පිහිටා තිබුනද ඒවා තරණයට අවසර නැත. කිරිගල්පොත්ත ස්වභාවික මංපෙත (Nature Trail) යනු තරමක් දුෂ්කර කදු තරණයකි. කිලෝ මිටර් 7ක් ගමනාන්තයට තිබේ. කදු නැගිම් බැසීම් මෙන්ම තැන්නේ ඇවිදිමටද මෙම මංපෙත හරහා ගමන් කරන්නට සිදුවේ. ගමනේ අවසාන මීටර් කිහිපය ඉතා පරිස්සමෙන් ගමන් කල යුතු අතර දෙපසට බැවුම් වු පටු තීරුවක ඉහලට නැගිමට සිදුවේ.තොටුපල කන්ද ස්වභාවික මංපෙත කුඩා කාලයකින් සම්පුර්ණ කරගත හැකි ලේසි කදු තරණයකි. කදු මුදුනට කිලෝමීටර් 2ක දුරක් ඇත.


මහඑළිය සිතියම (විශාලනයට ජායාරූපය මත ක්ලික් කරන්න)

             ඉහත සිතියමේ කොළ පැහැයෙන් දැක්වෙන මංපෙත කිරිගල්පොත්ත කදුමුදන දක්වා යන ස්වභාවික මංපෙතයි.රතු පැහැයෙන් දැක්වෙන්නේ මහඑළයට ඇති ප්‍රධාන පිවිසුම් මාර්ග 3යි. ඒ අතරින් දයගම මාර්ගය වනජීවී එක විසින් වසාදමා ඇත. වර්තමානයේදී නීත්‍යානුකුලව භාවිතා වන්නේ පට්ටපොල සිට ඇති පිවිසුම් මාර්ගයත් ඔහිය සිට ඇති පිවිසුම් මාර්ගයත් පමණයි. එම පිවිසුම් දෙකේදිම ඇතුල්වන්නට අවසරපත් ලබාගැනීමට කාර්යාල පිහිටුවා තිබේ. ඔහිය හා පට්ටිපොල දෙසින් ඇති මාර්ග දෙකෙන්ම මහඑළිය සංචාරක මධ්‍යස්ථානය දක්වා ආසන්න වශයෙන් කිලෝ මිටර් 11 ක දුරක් පවතියි. මහඑළිය තැන්න තුල ඉහත කදු තරණයන්ට අමතරව නීත්‍යානුකුල වන්නේ ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ස්වභාවික මංපෙත පමණයි. මහඑළියට එක් වරක් හෝ ගොස් ඇති අයෙකු මෙම වෘත්තාකාර  මංපෙත ගැන නොදැන සිටිය නොහැක. මක්නිසාද මහඑළිය(හෝර්ටන් තැන්න)  කියා සියලුම දෙනා බලන්නට යන්නේ ලෝකාන්තය හා බේකර්ස් ඇල්ල පමණක් වීමයි.

        මහඑළිය ගැන ලිවීමට බොහෝ දේ තිබුනත් අපේ ගමන ගැන ලිවිය යුතු නිසා වැඩිදුර කරුණු ඉඩ තියෙන විදිහට දාන්නම්. අපි කිරිගල්පොත්ත චාරිකාව පටන් ගන්නකොට වෙලාව හරියටම උදේ 7යි.අපේ ටීම් එකේ කට්ටිය මුලින්ම බැලුවේ නගින්න යන කන්ද පේනවද කියන එකයි.ඒත් වෙන කදු නැගීම් වල වගේ කිරිගල්පොත්ත කදු තරණයේදි අවසාන මොහොත වෙනකම් ගමනාන්තය පැහැදිලිව දැකගන්න ලැබෙන්නේ නැ.තණබිමෙන් ආරම්බ කරපු ගමන කටුගස් ගොන්නක් මැදින් වැටී තිබුනා.


ආරම්බය


අපි ලැහැස්තියි...


ගමනාරම්බය

කටු පදුරු මැදින්


පේන මානයක කන්දක් නැ


මොකුත් දැක්කේ නම් නැ හැබැයි...
               ගමනේ මුල් මීටර් කිහිපය තැන්න හරහා වැටි තිබුනා. කටුපදුරු අතරින් වැටී තිබුන අඩි පාර කෙමෙන් කැලැබද පෙදෙසකට සේන්දු වුනා. තැන්නේ අතරින් පතර ගින්නකට අසුවී තිබුන ගස් කිහිපයක් දැකගන්නට මේ ඉසව්වේදි පුලුවන්. මහඑළිය තැන්නේ පිහිටුවා ඇති තොරතුරු පුවරු වල සදහන් විදිහට 1989 වසරේදි මහඑළිය තැන්න ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ඒ ගින්නේ නෂ්ටාවශේෂ මේ ගමනේදි දැකගන්න පුලුවන්.
         
ගිනි ගත් අඩවිය පසුකරමින්


ගින්නට අසුවු ප්‍රදේශය



                     
                     අපේ ගමන තැන්නෙන් වනලැහැබකට අවතීර්ණ වුනා. මග දෙපස බට පදුරු වලින් ගහන මේ අඩිපාර විටෙක නැග්මක්ද විටක් බැස්මක්ද සහිතව වැටී තිබුනා.


කෙමෙන් කෙමෙන් වන ලැහැබට
       අපි මීලගට පැමිණියේ දිය පහරක් සමීපයටයි.කුඩා දිය පහරක් වුවද මෙය බෙලිහුල්ඹයේ ආරම්බයේ ඇති ශාඛා දිය දහරකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ වතුරේ ඇති දැඩි සීතලයි.ගිනි ගහන මධ්‍යහ්නයේ උව මෙහි ජලය අතදැමිය නොහැකි තරම් දැඩි සීතලකින් යුක්ත වේ. කොහොම උනත් අපි ආපසු ගමනේදි හොදට නාගත්තෙත් මේ දියපාරෙන්ම තමයි.ඒ දැනුන හැගීම නාපු අයම තමයි දන්නේ.






        ගමන අතරතුර හදිසියේම අපේ හර්ෂන මලයා අඩි සටහනක් දැක අපහට පෙන්වීය. දුටු සැනින් කොටියෙකුගේ අඩියක් බව අපිට හැගුනත් තව දුරටත් සෝදිසි කිරිමට අප යුහුසුළු විය. අප යන මාර්ගයේ අප දෙසට දිගටම අඩි සටහන් වැටී තිබුනා. ටික දවසකට කලින් වැටුන වර්ෂාවක් නිසා පස බුරුල් වු තැන්වල පමණක් අඩි සටහන් දකින්න පුලුවන් උනා.ඉදිරියටම සෝදිසි කරමින් යන විට ගෝනෙකුගේ යැයි සැකකල හැකි කුර සහිත අඩි සටහන් ද දැකගන්න පුලුවන් උනා. ගෝනා සහ කොටියාගේ පා සටහන් වැටී තිබුනේ එකම දිශාවකටයි.ඒක නිසා ගෝනා පසු පස ගිය කොටියෙකුගේ අඩි සටහන් කියලා හිතන්න පුලුවන්.පා සටහන් දෙස බැලිමේදි කොටියා ප්‍රමාණයෙන් සැහෙන ලොකු  එකෙක් කියලා හිතන්න පුලුවන්.ගෝනා නම් පෙනුමෙන් පැටියෙක් වගෙයි.


   
        මහඑළිය තැන්න තුල කොටින් 35 ත් 40ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව වනජීවි නිලධාරන්ගේ අදහසයි. ආහාර සුලභත්වය, දැඩි ආරක්ෂාව හා බෝවිමට හිතකර මනුෂ්‍ය බලපැම් වලින් තොර පරිසර තත්ව නිසා මීට වඩා වැඩි කොටින් සංඛ්‍යාවක් මෙහි සිටිය හැක.කොටියා නැත්නම් දිවියා ගැන බොහෝ දෙනා හරිහැටි නොදන්නා බව මා අත්දැකීමේන් දනි. බොහෝ දෙනෙක් පවසන ආකාරයට කොටියා සහ දිවියා යනු සතුන් දෙදෙනෙකි. ඔවුන්ට අනුව කොටි මෙහි නැත.මෙහි ඇත්තේ දිවියන් පමණි. මෙහි දිවියන් ඇති බව සැබෑය නමුත් කොටියා යනු  ලංකාවට පමණක්ම ආවේනික දිවියාගේ උප විශේෂයක් බව බොහෝ දෙනෙක් නොදනියි. ඇත්තටම ඔබද මේ පටලැවිල්ලේ සිටින්නකු විය හැක. කෙටියෙන් ඒ ගැන කිව්වොත් දිවියා (Leopard) අයත් වෙන්නේ පැන්තේරා (Panthera) කියන ගනයටයි. විද්‍යාත්මක නාමය තමයි පැන්තේරා පාඩුස්   (Panthera pardus).දිවියන්ගේ උප විශේෂ ලෝකය පුරා විසිරි සිටිනවා.ලංකාවෙන් වාර්තා වෙන්නේ ලංකාවට පමණක් ආවේණික දිවියාගේ උප විශේෂයක් වන පැන්තේරා පාඩුස් කොටියා (Panthera pardus kotiya) නැත්නම් අප දන්නා හදුනන කොටියායි. මීට දශකයකට විතර කලින් ශ්‍රී ලංකාවට ආවේනික මෙම සත්වයා ගැන පැහැදිලි හැදින්වීමක් තිබ්බෙ නැ. ලංකාවේ ජීවත් වන දිවියාද ඉන්දියාවේ ජීවත් වන දිවියාගේ උප විශේෂයම බවට එකල පිලිගැනුනා. නමුත් ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ උත්සාහයෙන් නිවැරදි හදුනාගැනීම කරන්නට හැකියාව ලැබුනා. ලංකාවට පමණක් ආවේනික මෙම සත්ව විශේෂය රැක ගැනීම සැම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක්.ශ්‍රී ලංකාවම සැලකුවත් ඉතා අඩු කොටි ගහණයක් තමයි වාර්තා වෙන්නේ.දිවියා නැත්නම් කොටියා සමග පටලවාගන්නා අනිත් සත්ව විශේෂය වන්නේ ව්‍යඝ්‍රයායි (Tiger). ව්‍යාඝ්‍රයන් ලංකාව තුල හමුවන්නේ සත්ව උද්‍යානය තුල පමණයි. බෙංගාලි කොටියා යන නමින් වැරදි ව්‍යවහාරයක් පවතින නිසාත් LTTE සංවිධානය, කොටි සංවිධානය යනුවෙන්  සිංහලෙන් හැදින්වීමට යාම නිසාත් මේ අවුල ඇති වී ඇති බව පැහැදිලියි. ඇත්ත වශයෙන්ම LTTE සංවිධානය හැදින්විය යුත්තේ ව්‍යාඝ්‍ර සංවිධානය විනා කොටි සංවිධානය යන්නෙන් නොවෙයි. එවිට අප ඔවුන්ට , ඔවුන්වත් බලාපොරොත්තු නොවු මේ බිමේ අයිතියක් ආරූඩ කලා වැනියි.කෙසේ වෙතත් කොටි ගැන කතාව දිග්ගැසුනා වැඩි නිසා මෙතනින් ඉදිරියට ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ.මේ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් මෙතනින් විකිපිඩීයා  සහය පතන්න පුලුවන්.

           ඔබ කිරිගල්පොත්ත සංචාරයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවනම් හැකිතරම් උදෙන් ගමන පටන් ගැනිමත් හතර පස් දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ගමනට සහභාගි කරවා ගැනීමත් ඔබගේ ආරක්ෂාවට වැදගත් වෙයි කියලා හිතනවා.


විවේකයක් ලද විටක


දැන්නම් කට්ටයට හොද ගනන්
        කිරිගල්පොත්ත කදු තරණය අනිත් කදු නැගිම් මෙන් එක දිගට ඉහලට නැගීමට සිදුවන්නක් නොවේ. කන්ද පෙනී පෙනී පල්ලම් බසින්නට සිදුවන අවස්ථාද නැතුවා නොවේ. එවිට පාර වැරදුනාදෝයි සැකයක් ඇතිවිය හැකි වුවත් පාර නිවැරදි බව කිව යුතුය.අපේ සෙට් එකට ගමනේ බාගයක් විතර ආ පසු මගෙන් අහන එකම එක පැනයයි තිබ්බේ. ඒ '' තව දුරද බන්? කෝ බන් දැන්වත් හරිද කියපන්කෝ ? අඩෝ තව නම් යන්න බැ බන්? මොකක්කද බන් මේකේ තේරුම යනවා යනවා ඉවරයක් නැනේ? කෝඩුකාරයෝ 4 දෙනාගෙන් මට ගැලවීමක් නොවීය. ''තව ටිකයි බන්...තව මීටර් 100 ක් උඩට යන්න ඕනේ....'' උබේ ඔය කෙහෙම්මල්  GPS එක විශ්වාස කරන්න බැ..ඒක ගොඩබිම කිව්වොත් මුදනේ පෙන්නන්නේ'' එක එකගේ දුක් අදෝනා ඇනුම් බැනුම් මධ්‍යයේ අප කෙමෙන් කෙමෙන් කදු මුදනට සමීප වෙමින් තිබුනා.ඔටුවා හැමදාමත් මෙන් හයි ස්පීඩ් කදු නැගිමක යෙදෙමින් තිබුනා..මා ඇතුළු අනික් උන්ට උගේ වේගෙන් යන්න රොකට් එකක් අවශ්‍ය බව මගේ අදහසයි. කෙසේ හෝ අවසානයේ කදු මුදුන පේන මානයේ බැවුම අසලට පැමිණිමට පැය දෙකක වෙහෙසකර ගමනකින් පසුව අපට හැකිවුනා.



     දැඩි වෙහෙසකට පත්ව සිටි වැලයා එතනින් ඉදිරියට එකදු අඩියක්වත් තබන්නේ නැති දැඩි ස්ථාවරයක පසුවුනා. කදු මුදුන දක්වා අවසන් මිටර් කිහිපය දෙපසටම බැවුම් වු කුඩා පටු තිරුවක ගමන් කල යුතු වු නිසා වැලයා එතනින් සෙලවීමත් දැඩි ලෙස ප්‍රතික්ෂේප කලා. ඒ වෙලාවේ පැවති දැඩි මීදුම නිසා අවට පරිසරයෙන්ද එක්වුයේ භයංකාර මුසු හැගීමක්. කන්ද ඝන මීදුම් පටලයකින් වෙලා ගෙන තිබුනා. මීදුම තුරන් වු පසු අපේ හර්ෂන මලයා වැලයව ෂේප් එකේ මුදුනට රැගෙන යාමේ වගකිම බාරගත්තා. පොර කැලැපාරකින් මිනිහව භය හිතෙන ඒරියා එකෙන් එගොඩ කලා. වැලයා කදු බඩගැ හැටි මතක් වෙන වාරයක් පාසා අපිට හිනාව නවත්වා ගැනිම අපහසු කර්ත්‍යවයක් වුනා.


දෙපසට බැවුම් වු පටු තීරුව



කදු මුදුනේ අපි සෙට් එක
( වමේ සිට දෙවැනියට සිටින වැලයගේ මුහුණ දැක්කත් හිනා යන් නැද්ද මංඅහන්නේ???)



මීටර් 2395 උසින්.....
මීදුම කෙමෙන් ඉවත් වෙමින්





කිරිගල්පොත්ත කදු මුදුන


පහලට බැවුම් වන කිරිගල්පොත්ත


කදු මුදුනට ඇති අඩි පාර


හරි කෙලින් පහල
(රජා කියනවා වගේ වැටුනනම් තාමත් වැටෙනවා...)





අග්‍රා බෝපත් සහ තොටුපල කදු
(ලගින් පෙනෙන කදු දෙක අග්‍රා බෝපත් ඇතින් පේන්නේ තොටුපල)








කදු මුදුන අනිත් පසෙන්..
         විටක මිදුම සමිපුර්ණයෙන් ඉවත් වී ඉතා පැහැදිලි වටපිටාවක් නිර්මානය කරයි. විටක හාත්පස ඝන මීදුමෙන් වැසී යයි. සිහිල් සුළං රැළි වල පහස ලබමින් අප බොහෝ වෙලාවක් කදු මුදුන මත කල්යැව්වෙමු. දුරදක්නයේ ආධාරයෙන් දන්නා හදුනන් තැන් නිරීක්ෂනය කලෙමු.ඇත්තටම දැනුන හැගීම් වචනයෙන් විස්තර කල නොහැක.ඒ තරම්ම එය රසවත්ය, සුන්දරය.මෙතරම් සුන්දර දර්ශනයක් දැකිමට අප බොහෝ වාසනාවන්තය. ගියවර අප කදු මුදුනට ලගාවන විට හවස 3 පසු වී තිබිණි. එමනිසා කිසිදු දෙයක් දැකගැනිමට ලැබුනේ නැත. ඝන මීදුම හා සීතල අපව වෙලා ගෙන තිබුණි. නමුත් මෙවර ගමන එතරම් කරදර වලට මුහුණපැමට සිදුවුයේ නැත.
     
          දිවා ආහාරයද කදු මුදුනේදිම ලබා ගැනීමට තීරණය විය.  සීරියල් ආහාරයක් හා කිරි එකතුවෙන් අපේ දිවා ආහාරය සැකසිණි. සියල්ලන් සමග ආසාවෙන් රස බැලු ඒ අහර දිව්‍ය භෝජනයකටත් වඩා වටින්නේයැයි සිතේ.







             දිවා ආහාරය ගෙන ස්වල්ප වෙලාවකින් අප කන්ද බැසීමට පටන් ගතිමු. ඔටුවා ප්‍රමුඛ වී ගමන ආරම්භ විය. නැගිමට සාපේක්ෂව බැසිමේදි කකුල් වලට අපහසුවක් දැනුනද ඉක්මනින් ගමන සිදු විය. අපේ අරමුණ වුයේ නාගැනීමට සුදුසු තැනක් සොයා හැකිඉක්මනින් එතනින් නා ගැනීමයි. දවසකට ආසන්න කාලයක් නිදිනොලැබ එක දිගට මහන්සි වී සිටිමත් තවත් දින දෙකක දුෂ්කර ගමන් කාලසටහනක් අප ඉදිරියේ තිබිමත් නිසා  අපට ස්නානයක අවශ්‍යතාව තදින්ම දැනුනි. මහඑළිය තැන්න තුල ජලමුලාශ්‍ර වල දිය නැම තහනම් වුවද අප හට වෙනත් විසදුමක්ද නොවිය.එමනිසා එන ගමනේදි හමුවු දිය පහර අපගේ නාන තොට විය.


       

          වතුරේ උෂ්නත්වය  රින අගයක තිබුනාදැයි සැක සහිතය. වතුර කෝප්පයක් හලා ගන්නා විට මුලුඇගම ගල් වී යන සේය. තත්පර 5ක් වතුරට වී සිටිමට නොහැකිය. එසේ වුවද මෙතුවක් කල් ජීවිතේ නාපු හොදම නෑම නැවේ එදාය. නැමට පෙර තිබු මහන්සිය  නෑමෙන් පසු සොයාගැනීමට නොහැකි විය.ඇත්තටම වතුර ටික නම් එවෙලේ රත්තරන් වලට වඩා අගනේය.

         සවස දෙකට පෙර අපට සංචාරක මධ්‍යස්ථානය කරා පැමීණිමට හැකි විනි.කාර්යාලයේ තබා තිබු බඩු බාහිරාදියද රැගෙන අපගේ කැම්ප් සයිට් එකට යාමට අපි ලහි ලහියේ සුදානම් විය.


කැම්ප් සයිට් එකේ ටෙන්ට් එක අටවාගන්න වින්ද දුක

උදේ පාන්දර ලෝකාන්තය දක්වා ගමන

ලෝකාන්තයෙන් නගරක් ඔස්සේ බෙලිහුල්ඔයට ගිය දුෂ්කර ගමන

මීලග කොටසින් බලාපොරොත්තු වන්න.........


කිරිගල්පොත්තේ අභිරහස සොයා ගිය රජතුමාගේ රජ සටහන පලමු කොටස මෙතනින්
කිරිගල්පොත්ත අභිරහසේ රජ ඇල්බමය මෙතනින්.

ප.ලි.

කිරිගල්පොත්ත කදු තරණය සදහා මාර්ගෝපදේශ ලිපිය මෙතනින්.

මහඑළිය අවට සියලුම මංපෙත් සදහා Lakdasun Trails and Routes මෙතනින් . (ගුග්ල් අරත් හරහා විවෘත වේ.කිරිගල්පොත්ත මංපෙත නිල් පැහැයෙන් දැක්වේ.

කිරිගල්පොත්ත මංපෙතට අදාල GPS දත්ත(Track) මෙතනින්. ( භාවිතා කිරීමට gpx file format එක support කරන GPS උපකරණයක් අවශ්‍ය වේ. අවශ්‍ය නම් ගුග්ල් අර්ත් හරහා විවෘත කල හැක. Google Earth- File - Open (select the file) - Select Ok

Sunday, August 12, 2012

ග්‍රේට් වෙස්ටර්න් කදු තරණය (පලමු කොටස)

            'ග්‍රේට් වෙස්ටර්න්' කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකක්ද? ගොඩාක් අයට මතක් වෙන්නේ කොච්චියෙන් බදුලු යනකොට හම්බවෙන ස්ටේෂන් එක වෙන්න ඕන.සමහර කෙනෙක්ට මීට අවුරුදු ගානකට කලින් රූපවාහිනියේ ගිය ලෙමන් පෆ් ඇඩ් එකත් මතක් වෙනවා ඇති..ලංකාවේ හොදම තේ වැවෙන ග්‍රේට් වෙස්ටර්න් තේ වතු යාය මතක් වෙන කට්ටියත් ඇති..ඒ සුප්‍රසිද්ධ තේ වතු යාය මායිමේ සුන්දර ස්ටේෂන් එකට පසුපසින් තියෙන ග්‍රේට් වෙස්ටර්න් කදු පන්තිය මතකයට නැගුන නම් අන්න ඒ කදු ගැටය මුදුනට ගිය කතාව තමයි අද ඔයාල කියවන්න මේ ලැහැස්ති වෙන්නේ..මගේ ජීවිතයේ මෙතෙක් කාලෙකට ලබපු හොදම කදු නැගීමේ අත්දැකීම ග්‍රේට් වෙස්ටර්න් කදු තරණය කිව්වොත් වරදක් නෑ. ඒ තරමටම ඒ ගමන මගේ ජීවිතයට වැදගත් වුනා.

          පුංචි කාලේ මම වැඩියෙන්ම ගිහින් තිබ්බේ බදුලු කිව්වොත් කෙනෙක් අහයි කවුද බදුල්ලේ ඉන්නේ කියලා. ඇත්තම කිව්වොත් මගේ කිසිම කෙනෙක් බදුල්ලේ නෑ. තාත්තා දුම්රිය දෙපාර්තමේනතුවේ වැඩ කරපු නිසා අපිට ඕනම දුම්රියක නොමිලයේ ට්‍රිප් යන්න නිදහස් ප්‍රවේශ පත්‍ර හම්බුනා. අපි හැම ඉස්කෝල නිවාඩුවටම කලේ බදුලු ගිය එකයි.ඔය ගමනේදි මම ගොඩාක් ආස කලේ නැරඹුම් මැදිරියේ ඉස්සරහට වෙලා  ග්‍රේට් වෙස්ටර්න් කදු වැටිය නොපෙනී යනකම් ඒ දිහා බලාගෙන ඉන්නයි. මම ඒකට අදත් ආසයි. මාත් එක්ක ට්‍රිප් ගිය උන් දන්නවා ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියට මම  කොච්චර ඇල්මක් දක්වනවද කියලා. මම හීනෙකින් වත් හිතුවේ නෑ ග්‍රේට් වෙස්ටර්න් නගින්න පුලුවන් කන්දක් කියලා. අංශක 90 ක විතර දළ බෑවුමක් එක්ක තමයි එක එල්ලේ කන්ද අපිට පේන්නේ.. මට කදු නගින පිස්සුව ඇති වුනේ කොහොමද කියලා මම තාම ඔයාලට කියලා නෑනේ නේද? ඒක වුනේ මෙන්න මෙහෙමයි, ඔයාල සමහරු දන්නවා ඇති පොඩි මහත්තයාව, අපි එකම ඉස්කොලේ ඉගෙනගත්ත එකම ගමේ ඉන්න හොද යාලුවෝ. මමයි පොඩියි තව අපේ යාලුවෝ කිහිපදෙනකුයි එකතු වෙලා ගියා අලගල්ල නගින්න ඒ ගමනේදි මට ලැබුන අත්දැකීම් මගේ ජීවිතය නව මානයකට අරන් ගියා.කදු නගින පිස්සුව හැදුනේ එදා තමයි, ඒ ගැන කියන්න දේවල් ගොඩාක් තියෙනවා ඊලග පෝස්ට් එකෙන් අලගල්ල නැගපු හැටි කියන්නම්. 

             අද කතාව ග්‍රේට් වෙස්ටර්න් නැගපු හැටිනේ ඉතින් මම මුලින් කිව්ව විදිහට මම හිතන් හිටයේ ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ නගින්න බැරි කන්දක් කියලනේ ඒත් අපි කිරිගල්පොත්ත නැගලා ආපහු එන ගමනේදි කොච්චියේදි හම්බවුන කට්ටියක් කිව්වා එයාල ග්‍රේට් වෙස්ටර්න් කන්ද නැගලා තියෙනවා කියලා. මට ඒ කතාව එක පාරටම විශ්වාස කරන්න බැරි දෙයක් උනා. මම ගෙදර එනකම්ම හිත හිත ආවෙ මේ කන්ද නගින්න පුලුවන් නම් ඒක කොහාම හරි නගින්න ඕන කියලයි. ගෙදර ආපු ගමන් කලේ නෙට් එකේ ග්‍රේට් වෙස්ටර්න් කියලා ගුග්ල් සර්ච් එකක් කරපු එකයි. මාව පුදුම කරමින් Lakdasun වෙබ් අඩවියේ මේ ගැන සංචාරක සටහනක් තිබ්බා. මේ සටහන කියවලා එතනින් එහාට මේ ගැන විස්තර හොයාගන්න මේ සටහන ලියපු අශාන්ගෙන්  ගොඩාක් උදව් හම්බවුනා. ඒ වගේම නඩේ ගුරා පරිසර සංවිධානයේ සභාපති දිනේෂ් ඩෙකර් ගෙනුත් ලොකු සහයක් මේ ගමන සැලසුම් කිරිමේදි මට ලැබුනා. මේ ගමන යම් මට්ටමක අපහසු , අනතුරුදායක කදු නැගීමක් කියලා අපි මුල ඉදන්ම දැනගෙන හිටිය නිසා හොද සැලැස්මක් අනිවාර්ය වුනා. ඒ නිසා අශාන් හා දිනේෂ්ගෙන් ලද සහයට ඔවුන් දෙදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

  ගමනට යන්න මගේ යාලුවෝ 4ක් එකතු වුනා. දුලියා , විරාජ්කාවින්දවිදුරංග තමයි අපේ කණ්ඩායම. විරාජ්ගේ අයියගේ හොදම යාලුවා ග්‍රේට් වෙස්ටර්න් වතු යායේ එක් කොටසක වතු අධිකාරි කෙනෙක් විදහට වැඩ කරනවා.ඉතින් එයා අපිට උදව් කලා කන්ද නගින්න යන්න ගයිඩ් කෙනෙක් දෙන්න. කෝකටත් කියලා අපි තව ගයිඩ් කෙනෙක් ලැහැස්ති කරලා තියාගත්තා මොකද සේරම ලැහැස්ති කරලා ගයිඩ්ගේ ප්‍රශ්නයක් ආවොත් හෙම සැලසුම් සේරම වතුරේ නිසා. හැමදෙයක්ම සුදානම් කරගෙන ඔන්න අපි ගමනට දිනයක් දාගත්තා.

            ගමන යන්න යොදාගත්ත දවසත් ආවා. මමයි දුලියයි කාවින්දයි කොටුව ස්ටේෂන් එකේදි හමබවෙන්නත් පේරාදෙනියෙන් අනිත් දෙන්නව ගන්නත් තමයි අපේ සැලසුම. ගමනට ඕන කරන කෑම බීම සේරම ගන්න හිටයේ කොටුවෙන්. අපි තුන් දෙනා හවස 6 විතර වෙද්දි කොටුවෙදි හම්බවෙලා දුලියා ගෙනාපු කෑම 2කුත් කාලා ලහි ලහියේ ලැහැස්ති වුනා අඩුම කුඩුම ටික අරගන්න ෆුඩ් සිටි යන්න. අපේ වෙලාව කොච්චර හොදද කියනවනම් එදා ෆුඩ් සිටි එක වහලා. අහලා පහල ඉන්න කට්ටියගෙන් සුපර් මාකට් එකක් ගැන ඇහුවම එයාල කිව්වේ යුනියන් ප්ලේස් වෙනකන් ආයේ සුපර් මාකට් නෑ කියලයි. කරන්න දෙයක් නැති තැන සුපර් මාකට් හොයන වැඩේ අතහැරලා අවශ්‍ය බඩු ටික ගන්න පුලුවන් පොඩි පහේ කඩයක් හොයාගෙන අපි කොටුව පිරූවා..ලංකාවේ අගනගරය කොටුවෙන් පාන් ගෙඩියක් හොයාගන්න එදා අපිට පැයක් තිස්සේ මහන්සිවෙලා බැරි උනා. රෙදි කඩ අස්සේ කරක් ගහලා බැරිම තැන යන්තම් 7 වෙද්දි අපි කොටුව ස්ටේෂන් එක ගාවට ආවේ ටොපියක් වත් අරගෙන නෙමෙයි. විරාජ්ට කෝල් කරලා පාන් නුවරින් ගන්න කියලා අපි ගියා ස්ටේෂන් එක ඉස්සරහා කඩේට. එතනින් චොකලට්, ප්ලාස්ටර්, ගිනිපෙට්ටි වගේ දේවල් ටික අරගත්තත් කිරි බෝතල් ටික ගන්න වැඩේ කරගන්න බැරි උනා. තියෙන බඩු ටිකත් අරගෙන ඉක්මනට ස්ටේෂන් එක ඇතුලට ආවා. ඒ වෙනකොට බදුල්ල නයිට් මේල් එක වේදිකාවට ඇවිත් තිබුනේ නැ. අපි තුන්වන පන්තියෙ ප්‍රවේශ පත්‍ර අරගෙන තිබුනේ, ඒත් කලින් පුරුද්දට වගේ මම කට්ටියත් එක්ක හිටියේ දෙවැනි පන්තියේ නිදන මැදිරි නවත්තන හරියේ. කෝච්චිය ලගට ආපුහම තමයි මට මතක් උනා අපේ උන් ටිකට තියෙන්නේ තුන්වැනි  පන්තියෙ ටිකට්නෙ කියලා. පුලුවන් ඉක්මනට වේදිකාවේ ඉස්සරහට දුවගෙන ගියත් ඒ වෙනකොට තුන්වැනි පන්තියේ ෆුට්බෝඩ් එකත් බුක් වී අවසානයි. යන්තම් පැනලා ෆුට් බෝඩ් එකක් අල්ලගෙන එතන ඉදගන්නට දුලියයි කාවින්දටයි පුලුවන් උනා. මම වෙනදා වගේම වවුලා වගේ එල්ලි ගමන් කරන්නට තිරණය කලා. හරියටම රාත්‍රී 8ට අපි කොටුවෙන් පිටත් වුනා. පොල්ගහවෙලට කිට්ටුවෙන්න ඔන්න මෙන්න තියලා කාවින්දගේ ෆෝන් එක අත ලිස්සලා දුලියගේ ඔලුවෙත්  වැදිලා අන්තිමට කෝච්චියෙන් එළියට විසික් උනා..පටන් ගත්ත වෙලේ ඉදන්ම බාධා වුන උන නිසා තව මොනව වෙයිද කියලා සැකයකුත් අපේ හිත්වල තිබුනා. පොල්ගහවෙල ඉදන් වැඩි දුරක් යන්න හම්බුනේ නෑ අපේ සැකය තහවුරු වුනා. කඩිගමුවට මෙහා තියෙන බිම්ගෙය ඇතුලෙදි කොච්චියේ ආසාමාන්‍ය වේගව අඩුවීමක් පෙනුනා. මට ඒකේ වෙනස හොදටම තේරුනා.එන්ජින් එකෙන් ජවය දුන්නත් කොච්චිය අදින් නෑ වගේ දෙයක් මට දැනුනා.එන්න එන්න ම වේගය අඩු වුනා කොච්චිය යම්තම් කඩිගමුව දුම්රිය ස්ථානයට ගාට ගාට ඇවිත් නැවැත්තුවා. එන්ජින් එකේ වැරැද්දක් කියලා හිතන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.මොකද ඉස්සරහට දාලා තිබුන M6 එන්ජිම කඩිගමුවට එනකම් හොදට වැඩ කලා ඒ වගේම පිටුපසට රඹුක්කනදි සම්බන්ධකරපු M5 එන්ජිමත් තිබුන නිසා දුම්රිය නතර වීමට හේතුව එන්ජින් වල අවුලක් කියලා හිතන්න බෑ..ගොඩාක් වෙලාවට බ්‍රෙක් වල ගැටලුවක් වෙන්න ඇති කියලා අපිට හිතුනා. රියදුරන් පෙට්ටියක් පෙට්ටියක් ගානේ බලාගෙන ගියත් ලෙඩේ හොයාගන්න බැරි උනා. අපි කඩිගමුවේ ඒ වෙනකොටත් විනාඩි 45 ක් විතර නැවතිලා. ඔය අතරේ රියදුරන් දුම්රිය මාර්ගය පරික්ෂා කලා. දැක්ක දෙයින් එයාලත් පුදුම උනා..එක් රේල් පීල්ලක දිගේ දිගටම කලුතෙල්  තිබුනා.රියදුරන් 4 දෙනයි මායි ඉස්සරහට ගිහින් බැලුවා දිගටම කලු තෙල් පාර තියෙනවාද කියලා..අපි මිටර් 50 ක් විතර ඉස්සරහට ගියත් කලුතෙල් පාරේ අඩුවක් තිබුනේ නෑ.

හැලුන කලුතෙල්

පීල්ලේ තැවරී තිබු කලුතෙල්

            කවුරු හරි පාරේ කලුතෙල් ගාලා දුම්රිය ධාවනය අඩපණ කරන්න උත්සාහ කරලද කියලා රියදුරන් සැක කලා. ඒත් ස්ටේෂන් එක  ඉස්සරහ පාරේ කාටවත් නොපෙනී කලුතෙල් ගාන්න බැරි නිසා ඒ මතය බැහැර කලා. තවදුරටත් හොයලා බලද්දි ඊට ටික වෙලාවකට කලින් තෙල් කෝච්චියක් නුවර පැත්තට ගිහින් තිබ්බා ඒකෙන් කලුතෙල් පාර දිගට ලීක් වෙන්න ඇති කියලයි අන්තිමට තීරණය උනේ. ඇතිවෙලා තිබුන තත්වය නිසා දුම්රිය ඉදිරියට ධාවනය කරන්න කිසිම හැකියාවක් තිබ්බේ නෑ.රියදුරන් කොළඔ පාලක මැදිරියට තත්වය දැනුම් දුන්නා. ඔය අතරේ අපිව පහුකරගෙන රඹුක්කන පැත්තට තෙල් කෝච්චියක් ගියා ඒක අරන් ගියෙ M9 වර්ගයේ එන්ජිමකින් (M9 කියන්නේ  ලංකාවේ තියෙන එන්ජින් වලින් වැඩිම ජවයක් තියෙන එන්ජිමයි). ඇතිවෙලා තිබුන තත්වයත් එක්ක අපිට ඕන කරලා තිබ්බෙත් M9 හරි M6 හරි වර්ගයේ එන්ජිමක් තමයි. නුවර යාඩ් එකේ මේ දෙවර්ගයේම එන්ජින් එවෙලේ තියෙයි කියලා හිතන්න අමාරු නිසා අපි M5 එන්ජිමක් එනතුරු බලාන හිටියා. විරාජ් ඒ වෙනකොට පේරාදෙනියට ඇවිත් හිටියේ, විරාජ් අපිට කෝල් කරලා කිව්වා M5 එකක් පල්ලෙහාට යනවා දැක්කා කියලා. ඒ කියන්නේ අපිව බේරගන්න එන්නේ පොඩ්ඩෙක්. ආයෙත් හිතේ සැකයක් තිබ්බා M5 දෙකක් එක්ක M6 එකක් කලුතෙල් බේරෙන පාරක පෙට්ටි 13ක ලෝඩ් එකක් කොහොම කඩුගන්නව කන්ද නගින්නද කියලා..

            ඔය අතරේ රියදුරන් හිතුවා තෙල් කොච්චිය පහලට ගිය නිසා පීල්ලේ තෙල් පාර ඒකෙන් ටිකක් හරි කැපෙන්න ඇති කියලා. එහෙම හිතලා ුආයේ පාරක් කෝච්චිය පනගන්නවලා ඉස්සරහට ගන්න උත්සාහ කලා. ඒත් වැඩේ හරිගියේ නෑ. මීටර් 100 කට වඩා ඉස්සරහට යන්න හම්බ්නේ නෑ..ආයෙත් කෝච්චිය ස්ටේෂන් එකටම ගන්න උනා.දැන් අපි පැය එක හමාරකටවත් වඩා කඩිගමුවේ නැවතිලා.දුලියයි කාවින්දයයි තාම ෆුට් බෝඩ් එකේ දෙන්නා දෙපැත්තේ ඉදගෙන බාගෙට නිදි. සිරිපාදේ යන කොල්ලෝ සෙට් වලට නම් ගානක් ඇත්තෙම නැති හැඩයි. උන් ඒ වෙනකොටත් සප්පායම් වෙන්න ඕන එව්වයින් සප්පායම් වෙලා හිටපු නිසා පිස්සු විකාරෙන් සිංදු කියනවා. උන්ට කෝච්චිය ගියත් එකයි නැතත් එකයි. රියදුරන් 4 දෙනයි, ගාඩ්ලයි, අපි සෙට් එකයි, ස්ටේෂන් එකේ අයයි ඇරෙන්න වෙලා තියෙන දෙයක් අනිත් කිසිම කෙනෙක් දැනන් හිටියෙත් නැ.මගෙන් ඇහුවට මම කිව්වෙත් නෑ.කාර්මික දෝෂයක් නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වේ කියලා විතරයි ස්ටේෂන් එකෙන් දැනුම්දුන්නේ. බාධා වෙවි ආපු ගමන මෙතනින් කෙලවර වෙයි කියලා දුලියට වගේම මටත් හිතිලා තිබ්බේ. හිත හැදෙන්නත් එක්ක පහුවෙනිදා උදේ වෙනකම් ස්ටේෂන් එකේ නිදාගෙන රේල් හයික් එකක් වත් යමු කියලා අපි කතා උනා.

ඉදිරිපස M6 එන්ජිම

පසුපස M5 එන්ජිම

මගීන් නොඉවසිල්ලෙන්
            මායි දුලියයි කෝච්චිය පිටිපස්සට වෙලා පොටෝ ගගහ ඉන්න අතරේ රඹුක්කන පැත්තේ ඉදන් කෝච්චියක් එන සද්දයක් ඇහුනා..එන්ජින් එකේ සද්දේන් M9 වෙන්න ඕන කියලා දුලියට කියනකොටම මෙන්න අපි ඉස්සරහ M9 එකක්. අපිව පහුකරන් ගිය තෙල් කෝච්චියෙ එන්ජින් එක රඹුක්කනෙන් ගලවලා උඩහට එවලා තිබ්බේ අපිව තල්ලුකරන්නම කියලා නෙමෙයි. ඉස්සරහින් ගිය නයිට් මේල් එකට ප්‍රශ්නයක් නිසා ඒක බලන්නයි M9 එක ඇවිත් තිබ්බේ. කොහොම හරි දෙයියෝ බලලා වගේ වෙලාවට M9 ආපු නිසා පැය දෙකක් විතර පරක්කු වෙලා අපි කඩිගමුවෙන් පිටත් වුනා.

ගැලවුම්කරුගේ පැමිණිම

M9

රියදුරු මහතා

එක්වීමකට සුදානමින්


            කරදර බාධා මැදින් කෝච්චිය යන්තම් පේරාදෙනියට ආවා. අපි එනකම් විරාජ්ලා පොඩි නින්දක් හෙම දාලා. ඒ දෙන්නව ඉස්සරහෙ පෙට්ටියේ ෆුට් බෝඩ් එකට සෙට් කරලා අපි කට්ටියම රාත්‍රී භෝජනය මහ පාන්දර අනුභව කරන්න පටන් ගත්තා. හොද වෙලාවට විරාජ්ලට පාන් අරගන්න පුලුවන් වෙලා..නැත්නම් දවස් දෙකක් කන්න වෙන්නේ චොකලටුයි බිස්කටුයි තමයි. ඒ අත්දැකීමත් හරිම සුන්දරයි, දුලියයි කාවින්දයි ෆුට් බෝඩ් එකේ පලවෙනි පඩියේ, එච්චර වෙලා හිටගෙන ආපු මමත් දෙවැනි පඩියෙන් වාඩි වෙලා කට්ටියම එක්ක  එකතු වෙලා පාන් කෑවා..ඔය පාන් පෙත්තම ටේබල් එකක වාඩි වෙලා කනවට වඩා අමුතු රසක් අපිට එවෙලේ දැනුනා.

             විරාජ්ලටත් පොඩි කරදරයක් ස්ටේෂන් එකේ අපි එනකන් බලා ඉන්නකොට වෙලා තිබ්බා. එයාලා අපි පරක්කු නිසා පොඩි නින්දක් දාලා.ඔය අතරේ ආපු බීපු ඩයල් එකක් පොඩි කොස්සක් ඇදලා අපේ දෙන්නට. එතැන ඉන්න බැරි නිසා දෙන්න වෙන තැනකට ගිහින් , කලබලේ නිදිමතේ ගිය නිසා විරාජ්ගේ ට්‍රයි පොඩ් එක අමතක කරලා ගිහින් තියෙන්නේ. බහින්න කිට්ටු වෙලා හැටන් දිහාට ඇවිත් ට්‍රයි පොඩ් එක හොයද්දි තමයි විරාජ්ට මතක් උනේ ඒක අමතක වෙලානේ ඇවිත් තියෙන්නේ කියලා.යන්තම් හැටන් වලින් අපිට පෙට්ටිය ඇතුලට එන්න පුලුවන් උනත් ඉදගන්න හම්බවුනේ දුලියටයි කාවින්දටයි විතරයි. අපි ග්‍රේට් වෙස්ටර්න් වලට එනකොට පාන්දර 3 පහුවෙන්න ඇති. ඒ වෙලාවේ තිබ්බේ පුදුම සීතලක්..ඈතින් සමනල කන්දේ සිරිපා කරුණාව සදහා ආලෝකමත් කර තිබු හැටන් මාර්ගය දිස් වුනා...අහසේ තැනින් තැන විදුලි කෙටිම් තිබුනත් වැහි වළාකුළු තිබුනේ නෑ...ස්ටේෂන් එකේදි අපිට ස්ටේෂන් මාස්ටර් ගොඩාක් උදව් කලා. විවේක කාමරය ඇරලා දිලා දෙන්න පුලුවන් හැම පහසුකමක්ම අපිට ලබාදුන්නා. එදා ස්ටේෂන් මාස්ටර් හිටිය දොරවක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙන්නම ඕන.ඒ වගේම දොරවක මහත්මයාව ගමනට පෙරදිම මට හදුන්වා දුන් මා හිතාදර සදරුවන් කුඩාහෙට්ටි මිතුරාටත් මම ස්තුතිවන්ත විය යුතුයි.

ග්‍රේට් වෙස්ටර්න් වලට පා තැබු අවස්ථාව
          පාන්දර 6 විතර වෙනකම් නින්දක් දාගන්න  පුලුවන් කම තිබ්බත් සීතල වැඩි නිසා මට නිදාගන්න පුලුවන්කමක් තිබුනේ නැ. අනිත් අය නම් විටින් විට අඩ නින්දේ සහ මර නින්දේ පසු වු බව මම දැක්කා..යම්තම් එළිය වැටෙනකම් මම බලාසිටියේ නොඉසිල්ලෙන්..පාන්දර 6 ට විතර කට්ටියම නැගිටලා මුණ අතපය හෙම හෝදගෙන අවට වට පිටාවේ පොඩි ෆොටෝ ෂුට් එකක් දැම්මා..එතන ඉදන් කතාව මම ඊලග පෝස්ට් එකෙන් කියන්නම්.එක දිගට කියවගෙන යද්දි කියවන්නත් එපාවෙනවනේ නේද?

ප.ලි

අපිත් එක්ක ආපු විරාජ් කියන්නේ හොද වීඩියෝ එඩිටර් කෙනෙක්.එයා අතින් නිර්මාණය වුනු අපේ හයික් එකේ විඩීයෝ එක මෙතනින් බලන්න.අද පෝස්ට් එකෙන් හයික් එක ගැන කිසිම දෙයක් ලියන්න බැරි උන එක ගැන සමාව ඉල්ලනවා. එකපාරටම හයික් එක ගැන කියනවට වඩා එතනට අපි ආපු හැටි කියන එක හොදයි කියලා හිතුන නිසයි අද ටිකක් වැඩියෙන් ලිව්වේ. අද ලිවීමේ ශෛලියෙත් පොඩි වෙනසක් ඇති කලා ටිකක් සරලා කරලා ලිවීමෙන් හැමෝටම ආසාවෙන් කියවන්න පුලුවන් වෙයි කියලයි එහෙම ලිව්වේ..ඔයාලගේ අදහස් කියන්න. ඉස්සරහට ලිපි සකස් කරද්දි වැදගත් වේවි.

ප.ප.ලි

මේ ගමන අපි ගියේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයෙයි.පෝස්ට් එක දාන්න හිත හිත හිටියත් එක එක වැඩ හින්දා පරක්කු වුනා.අද තමයි ඒකටත් වෙලාවේ හම්බවුනේ.මේකේ ඉතුරු කොටස් ටික ඉක්මනටම ලියලා පෝස්ට් කරන්නම්.තව දෙයක් කියන්න අමතක උනා මේ පෝස්ට් එකේ දාලා තියෙන සමහර ඡායාරූප වල අයිතිය දුලිත සමීර සතුයි.නැවත පලකිරීමක් කරනවා නම් අයිතිකරුවන්ගේ අවසරය මත පමණක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.ජය වේවා !!!