Tuesday, June 26, 2012

කන්නෙලිය වර්ෂා වනාන්තරයේ සුන්දර සංචාරය...

              පසුගිය සතිය ආරම්බයේ කාලයක් තිස්සේ යාමට සැලසුම් කොට තිබුනත් දිනෙන් දින කල් දැමීමට සිදුවු සංචාරයක ගමනාන්තයක් සපුරා ගැනීමට අපට හැකියාව ලැබුනා.ඒ කන්නෙලිය වර්ෂා වනාන්තරයේ සුන්දර සංචාරයයි.දෙදිනක නකල්ස් සංචාරයක් සදහා සුදානම් වී සිටියද නොවැලක්විය හැකි හේතුන් කිහිපයක් නිසා එය අවසාන මොහො‍තේ කල් දැමීමට සිදුවීමත් සමග කන්නෙලිය සංචාරය සදහා මංපෙත් විවර වූයේ අප සමග කැම්පස් එකේ සිටි මිතුරෙකුගේ නිවසක නිවාඩුවකට යාමට කතිකා විමත් සමගයි. ගමනාන්තය වුයේ ගාල්ල හබරාදුවයි.
           
               මම සහ තවත් මිතුරන් 4 දෙනෙකු (හර්ෂණ හෙවත් කවුරුත් දන්නා අඩවි රජ, අශාන්, හසිත, ගයාෂාන්)දුම්රියෙන් ගාල්ල බලා යාමට පිටත් වුයේ පසුගිය සදුදා උදැසන සුපිරි සංචාරක අතැදැකීමක බලාපොරොත්තු දල්වා‍ගෙනයි.ගාල්ල දුම්රිය පලෙන් බැස හබරාදුව කරා බසයෙන් යාමට සිදු විය. එතැන් සිට නිවසට ප්‍රවාහන පහසුකම් අපේ අතිජාත මිත්‍රයා යෂික විසින් සපයා දෙනු ලැබිනි.පලමු දින සැලැසුම වුයේ කොග්ගල කලපුව ආශ්‍රිත දුපත් දැක බලා ගැනීම සහ මඩොල් දුව නැරඹීමයි.පලම් දිනයේ සිදුවු සුන්දර අත්දැකීම් අඩවි රජාගේ තෙලිතුඩින් මෙතනින් බලාගත හැක.

              දෙවැනි දින සැලසුම වුයේ කන්නෙලිය  වනාන්තරයේ සංචාරයයි.උදැසනම ගමනට කතිකා කරගෙන සිටියද විවිධ හේතුන් නිසා‍ ‍ගෙදරින් පිටත් වීමට සිදු වුයේ දහවල් 10 ත් පසුවු තැනය. කන්නෙලිය යාමට සුදානම් වී සිටියද අප අතරින් එකෙකු හෝ සතුව මේ පිලිබද හසල දැනුමක් නොතිබිණි. හරිහැටි පෙර සුදානමක් නොමැතිව පැමිණීම නිසා අපහට නැරීඹිමට තිබු සුන්දර ස්ථාන කිහිපයක්ම මග හැරුණි. එම නිසා කන්නෙලිය යාමට සැලසුම් කරන සංචාරකයින් වෙනුවෙන් කන්නෙලිය වනාන්තරය ගැන හා මංපෙත් ගැන කෙටි හැදින්වීමක් ලිවීමට මට සිත් විය.විවිධ මුලාශ්‍ර හා මාගේ අත්දැකීම් ද පදනම් කොටගෙන පහත සටහන ලියා ඇත.




              කන්නෙලිය රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය හැකියි.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර වේ.  මේවා පස, ජලය සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වැදගත්වන වනාන්තර ප්‍රදේශ ලෙස හදුනාගෙන තිබේ. මෙම වනාන්තර තුළ පර්යේෂණ හා සුන්දරත්වය නැරඹීම හැරුන විට සීමිත සම්ප්‍රදායික කටයුතු සඳහා පමණක් අවසර දී තිබේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තූව මගින්  රක්ෂිත වනාන්තර පාලනය වන අතර ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් කලමනාකරණය කරනු ලබන්නේ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

              කන්නෙලිය රක්ෂිත වනාන්තරය පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක් වේ. මෙය කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex)  අයත් වෙයි. කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය යනු ශ්‍රී ලංකාවේ ඇති වර්ෂා වනාන්තර කලාපයක් වෙයි. මෙම කලාපයේ වනාන්තර පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර ලෙස හදුන්වා දෙනු ලැබේ.කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය හෙක්ටයාර 11,900 කින් සමන්විත වේ.ශ්‍රී ලංකාවේ වර්ෂා වනාන්තර සැලකීමේදී සිංහරාජයට පසුව වැදගත්ම තැනක් හිමිවන්නේ මෙම සංකීර්ණයටයි. කලකට ඉහතදී කන්නෙලිය වනාන්තරය සිංහරාජය සමග නෙලුව ප්‍රදේශයෙන් සම්බන්ධ වී තිබු බව කියවෙයි. ගම් බිම් වගාබිම් බිහිවීමත් සමග ක්‍රමයෙන් කන්නෙලිය සිංහරාජයෙන් වෙන් වී තිබේ.


කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය ( KDN complex)   

              ගාල්ල දිස්ත්‍රික්කයට අයත්ව උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 80°19. සහ 80°26. අතර පිහිටා ඇති මෙම වනාන්තරය හෙක්ටයාර 5305 පුරා පැතිරී පවතියි. එයින් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තර වලින්ද හෙක්ටයාර 168.4 විවෘත වනාන්තර වලින්ද හෙක්ටයාර 29.3 වන වගා වලින්ද සමන්විත වෙයි.1970 ත් 1980  කාල සීමාවේදි මෙම වනාන්තරයේ තිබු විශාල ගස් වලින් බොහො ප්‍රමාණයක් දැව සංස්ථාව මගින් තුනී ලෑලි සදහා කපා දමා තිබේ.එම නිසා මෙම වනයේ ජෛව විවිධත්වයට සිදුවු හානිය සුළු පටු නොවේ.

            කන්නෙලිය වනාන්තරය ඇතුලත් ප්‍රදේශයට සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4.445 වාර්ථා වෙයි.වැඩිම වාර්ෂාපතයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා  පවතින නිරිතදිග මෝසම් දේශගුණය මගින් ලැබේ.මෙම වනාන්තරය තුල පවතින මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27 පමණ වේ.මෙම වනාන්තරය සතුව පවතින දිය පහරවල් 110 කට වැඩි ප්‍රමාණයක් දැනට හදුනාගෙන ඇති අතර එබැවින් මෙම කලාපය දකුණු පලාතේ පවතින වැදගත් ගංගා පෝෂක ප්‍රදේශයක් ලෙස නම් කර ඇත.

             කන්නෙලිය වනාන්තරය තුල සිදුකරනු ලැබු පරීක්ෂණයකට අනුව ශාක , පදුරු හා පැලැටි වර්ග 301 හදුනා‍ගෙන ඇති අතර එයින 52% ක ප්‍රමාණයක් ආවේනික විශේෂ වේ.මෙම විශේෂ අතරින් විශේෂ 16 ක් අන්තර්ජාතිකව වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර විශේෂ  26 ක් ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.වනාන්තරය තුල ඹෟෂධ ශාක වර්ග රාශියක් හමුවේ. ඒවා අතර බෙරලිය, වෙනිවැල්, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සදරාජ , වනරාජ, කොකුම්, දුම්මල, හාතාවාරිය යන ශාක මුල් තැනක් ගනියි. වනාන්තරය තුල සත්ත්ව විවිධත්වය සැලකීමේදී පක්ෂි වි‍ශේෂ 122ට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත.ඒ අතර ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂි  විශේෂ දෙකක් වන  බට ඇටි කුකුළා සහ කැහිබෙල්ලා ද දැකගත හැකිය.ශ්‍රී ලංකාවට ආ‍වේනික කළු වදුරා සහ මීමින්නා ඇතුලුව ක්ෂීරපායින් ව්ශේෂ 20 ක් මෙම වනාන්තරයේදි හමුවේ.වනාන්තරය තුල වාර්තා වන උභය ජීවි විශේෂ සංඛ්‍යාව 19 කි.මෙයට ආවෙනික රුක් මැඩියන් විශේෂද අයත් වේ. උරග විශේෂ 39 මෙම වනාන්තරයේ හමු වී ඇති අතර, ශ්‍රී ලංකජවට ආවෙනික පළා පොළගාද  මේ අතර වේ.මීට අමතරව ශ්‍රී ලංකාවට ආවෙනික මහ කැලැ නිලයා ඇතුළු සමනළ විශේෂ 40 ක්ද මත්ස්‍ය විශේෂ 24 ක්ද වාර්තා වී ඇත.අන්තර්ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුන පා ඇති පතිරණ සාලයා සහ විල්පිට දන්ඩියා යන මත්ස්‍ය විශේෂයන්ද සුලභ ලෙස දැකිය හැකි ඉස්සන් ද මෙම වනාන්තරයේ වාසය කරයි.
              කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් ක්‍රියා පටිපාටියකට යටත්ව සංචාරයේ නිරතවීමට සිදුවේ.මෙහිදී දෙපාර්තමෙන්තුවට සම්බන්ධ මගපෙන්වන්නෙකු ලබා ගැනීම අනිවාර්ය වේ.ප්‍රවේශපත්‍ර එකක මිල සදහන්වන්නේ රුපියල් 28 ක් ලෙසයි.මාර්ගෝපදේශක සදහා ගෙවිය යුතු මුදල තීරණය වන්නේ තෝරාගන්නා මංපෙත් සැලැස්ම  (Trail package) අනුවයි. දෙපාර්තමේන්තුව මගින් සංචාරකයින් සදහා මංපෙත් 6ක් විවෘත කොට ඇති අතර ඒවා පහත සදහන් පරිදි වේ. 



ගුහාව මංපෙත               -   දුර ප්‍රමාණය  කිලෝමීටර 1.5 - ගතවන කාලය පැය 01යි.
අනගිමල ඇල්ල මංපෙත - දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.
යෝධ පුස්වැල මංපෙත   - දුර ප්‍රමාණය කිලෝමීටර 2.3  - ගතවන කාලය පැය 03යි.
යෝධ නවඳගස මංපෙත - දුර ප්‍රමාණය කිලෝමීටර 5.2  - ගතවන කාලය පැය 03යි.
නාරංගස් ඇල්ල මංපෙත - දුර ප්‍රමාණය කිලෝමීටර 5.2  - ගතවන කාලය පැය 06යි.
කබ්බලේ කන්ද මංපෙත -   දුර ප්‍රමාණය  කිලෝමීටර 5.5    - ගතවන කාලය පැය 06යි.

  මෙම මංපෙත් 6 යොදාගෙන සංචාර සැලසුම් 3ක් (packages) සකස්කොට තිබේ.

සැලසුම් අංක 1 - ගුහාව මංපෙත + අනගිමල ඇල්ල මංපෙත + යෝධ පුස්වැල මංපෙත - කාලය පැය 03යි.
සැලසුම් අංක 2 - සැලසුම් අංක 1+ යෝධ නවඳගස මංපෙත + නාරංගස් ඇල්ල මංපෙත- කාලය පැය 06යි.
සැලසුම් අංක 3- කබ්බලේ කන්ද මංපෙත (ආපසු පැමිණීමේදි සැලසුම් අංක 1 ආවරණය කල හැක) -පැය 06යි.






               සැලසුම් අංක 1 සදහා ප්‍රවේශපත්‍ර වල මිලට අමතරව රුපියල් 300 ක මාර්ගෝපදේශ ගාස්තු ගෙවිය යුතු වෙනවා. සැලසුම් අංක 2 හෝ 3 සදහා ගෙවිය යුතු එම මුදල මාගේ මතකයට අනුව රුපියල් 600 කි.සංචාරය අතරතුර කිසිදු දිය ඇල්ලකින් හෝ ජල මුලාශයකින් ස්නානය තහනම් වන අතර සංචාරය අවසානයේ සංරක්ෂණ මධ්‍යස්ථානයට මදක් ඔබ්බෙන් පිහිටි පිරිසිදු ස්වභාවික ජල තටාකයෙන් නිදහසේ නාගැනීමට අවස්ථාව සලසා තිබේ.සංචාරය සදහා කිසිදු ආකාරයක මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි රැගෙන ඒම සපුරා තහනම්ය. ගමන්මලු හා බඩුබාහිරාදිය සංචාරයට පලමුව කාර්යාලයට බාරදී අවශ්‍යම කරන දේවල් පමණක් රැගෙන යාමට අවසර තිබේ. අහාර ද්‍රව්‍ය ගෙන යා හැකි වුවද පොලිතින් භාවිතය අවම කිරිමට උපදෙස් ලබා දේ.කිසිදු ආකාරයක ඉවතලන අමුද්‍රව්‍යයන් පරිසරයට බැහැර කිරීමද සපුරා තහනම්ය.සංචාරය සදහා උපදෙස් පහත පුවරුවේ සදහන් වේ.



                සංචාරයක් සැලසුම් කිරීමේදී මෙහි ඇති මංපෙත් 6 ම දැකබලාගැනීමට නම් දවස් දෙකක් යොදාගැනීමට අනිවාර්යයෙන්ම සිදුවේ.කබ්බලේ කන්ද මංපෙත යනු කදු නැගීමක් වන අතර අනිත් මංපෙත් සකස් කල මාර්ගයේ පහසුවෙන් ඇවද යා හැකි මංපෙත්ය. සියලුම මංපෙත් පයින් ගමන් කල යුතු අතර කිසිදු වාහනයක් ඇතුල් කිරීමට අවසර නැත. පලමු දින සැලසුම් අංක 2 හෝ  අංක 3 ද දෙවැනි දින ඉතුරු සැලැස්මද ආවරණය කල හැක. සංචාරයේ යෙදෙන්නන්ගේ කාල කළමනාකරණය අනුව දෙවන දින උදේ වරුව තුල සංචාරය සම්පුර්ණ කරගතහොත් නෙලුව දක්වා ගමන්කොට දූවිලි ඇල්ල නැරඹීමටද අවස්ථාවක් උදාකරගත හැක.ඉතාමත් අඩු මුදලකට රාත්‍රී කාලයේ නැවතීම සදහා සුවපහසු කාමර පහසුකම් දෙපාර්තමේන්තුව මගින් සංචාරකයින්ට සපයා දී තිබේ. කෑමට අවශ්‍යකරන ද්‍රව්‍ය පිටතින් රැගෙන පැමිණියහොත් කෑම සකසා දීමට මෙහි අරක්කැමියන් සැදි පැහැදි සිටියි. ඒ සදහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 20 පමණ මුදලක් (ගෑස් පරිභෝජයට) එක් කෑම වේලක් සදහා අය කරනු ලබයි.කාමර වෙන්කරවාගැනීම් කොළඹ බත්තරමුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ගාල්ල දිස්ත්‍රික් වන සංරක්ෂණ කාර්යාලයෙන් කරගත හැක.

             ග්‍රන්ථ :- නිවර්තන වර්ෂා වනාන්තර ;චාමලී ඩී ජයසිංහ, සරත් පී ඒකනායක, චන්න ඹබරදෙනිය, ශාලිනි
                          අමරසිංහ

කන්නෙලිය සංචාරයේ සොදුරු අත්දැකිම් දෙවන කොටසින් බලාපොරොත්තු වන්න

32 comments:

  1. බොහොම වටින සටහනක්. සංචාරක සටහනක් විදියට සැහෙන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ක්සැන්ඩර්...

      Delete
  2. වැදගත් ලිපියක් ,යන්න ඕන බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා...දවස් දෙකක් දාගෙනම යන්න නැත්නම් ගමනේ නියම ප්‍රයෝජනය ගන්න බෑ..

      Delete
  3. මාරම වටිනවා මචං..
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං...මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා...දිගටම ඇවිත් යන්න එන්න....ජය වේවා!!!

      Delete
  4. ඔය තියෙන්නෙ ගින්දර වගේ.....
    යකෝ මමත් ගියා නේ මේ ගමන? සමහර ඒවා මම ඇහුවෙත් මෙයා කිව්වට පස්සේ... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මමත් මේ දේවල් දැනගත්තේ මේ ගමන ගිහින් ඇවිත් කන්නෙලිය ගැන තොරතුරු හොයන්න ගියහමයි...මේ දේවල් දැනගෙන අපේ ගමන සංවිධානය කලා නම් අපිට සෑහෙන දේවල් ඉගෙනගන්න තිබ්බා..ඒ වගේම නාරංගස්ඇල්ල දක්වා යන්නත් තිබ්බා.....සුභම වේවා රජෝ !!!

      Delete
  5. එළකිරි මචන්.. විස්තරේ මාර වටිනවා... ලඟදි කන්නේලියේ යන්න හිතුන..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්...කන්නෙලිය ගැන සිංහලෙන් අන්තර්ජාලය තුල ලියවී තිබු දේවල් ඉතා අල්පයි..කන්නෙලිය යන්න උනන්දුවෙන් ඉන්න කෙනෙක්ට තමන්ගේ ගමන සැලසුම කරගැනීම සදහා උදව්වක් වශයෙන් තමයි මම මේක ලියලා තියෙන්නේ...අනිවාර්යයෙන්ම දවසක ගිහින් එන්න යන්න...

      Delete
  6. ඔන්න අර රජාගේ ලින්ක් එක දිගේ මමත් ආවා මේ පැත්තට.රජාගේ විස්තරයි මේ විස්තරයි බලලා මටත් එහෙ යන පුදුම දොලදුකක් ඇති වුනා. ඉන්නකෝ මමත් යනවාමයි කන්නෙලියෙ

    ReplyDelete
    Replies
    1. දොලදුක?? දොදොල් කන්න ඇති දුකද??

      Delete
    2. @කාව්‍යා : මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..දිගටම ඇවිත් යන්න එන්න හොදේ..කන්නෙලිය ගමන ඇත්තටම සුන්දරයි..හොද සෙට් එකක් එක්ක ගියොත් අමතක නොවන ට්‍රිප් එකක් වෙනවා ෂුවර්..

      Delete
    3. @ගැමියා: :D :D හික්ස්....එහෙම කතාවක් ඇහුවමයි මම.....

      Delete
    4. දොල දුක් තියාගන්න එපා..... හම්බෙන්න ඉන්න ලමයිගෙ කන්කුණු වෙනවලු... :)

      Delete
    5. රජා දන්න එව්වා..අත්දැකීමෙන්ද මන්ද කියන්නේ ආහ්???

      Delete
  7. හුගක් වටින ලිපියක් මල්ලියෝ..
    අපේ ගම දකුණ උනත් මම දානං හිටියේ නැනේ මේගැන..:(
    වෙලාවක කොහෝම හරි යනවා..
    හුගක් ස්තුතියි මල්ලියෝ...
    ඉතිරියත් වෙලාව තියන විදියට කොහොම හරි ලියන්න හොදේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කා...ගමේ ගිය වෙලාවක ගිහින් එන්න යන්න. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්කෝ....

      Delete
  8. මමත් ආවේ අර රජාගේ ලින්ක් එක දිගේ. මම බැලුවේ සටහන් දෙකේ වෙනස. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය පොඩ්ඩි මේ පැත්තේ ඇවිත් යන්න ආවට හොදේ.....ම්ම්ම් රජාගේ ශෛලියයි මගේ ශෛලියෙයි අතර ලොකු වෙනසක් තියෙනවා....රජාගේ ශෛලිය ගොඩාක් නිර්මාණශිලියි....රජාගේ නිර්මාණශිලි හැකියාව අහලකටවත් එන්න මට බෑ... ඔහුගේ ලේඛන හැකියාව විශිෂ්ඨයි....දැන් ඔහු හැමෝගෙම සිත් සතන් වල රැදුන චරිතයක් ඒ ඔහුගේ දක්ෂතාවය නිසයි.....

      Delete
  9. වටින සටහනක්... මමත් ගියා ඉස්කෝලෙ ට්‍රිප් එකක්..කියුව වගේම මටත් සමහර තැන් අතපහු උනා...

    ReplyDelete
    Replies
    1. හොද සැලැස්මක් නැතිවුනොත් සේරම බලාගන්න බැරි වෙනවා මචන්...අපි නොදන්න තැනකට යනකොට කාලය කලමණාකරනය කරගන්න එක එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි...මේ පැත්තට සාදරයෙන් පිලිගන්නා යාලුවා දිගටම ඇවිත් යන්න එන්න....බොහොම ස්තුතියි....

      Delete
  10. රජාගේ ලින්කුව දි‍ගේ ආවේ එල ඈ... මම බලාපොරොත්තු වුනේ රාජාගෙ සැම්පලේ කතාවක් බැලින්නම් සෑහේන්න නිවිලනේ

    ReplyDelete
    Replies
    1. :D :D හික්ස්... රජා සහ මම...ස්තුතියි යාලුවා මේ පැත්තේ ආවට...ඊලග කොටසෙදි රජාගේ රගේ කියන්නම්කෝ....

      Delete
  11. මම උඩින්ම කැමති අර වාහන වලට යන්න නොදෙන එකට.. යාලට වෙලා තියන දේ දැක්කම දුකයි.. කිව්වත් වගේ යන එක යනවමයි මම මැරෙන්නෙ නැතුව හරි අතක් පයක් කැඩෙන්නෙ නැතුව හරි හිටියොත්.. ජීවිතේ ලොකුම හීනයක් මැරෙන්න කලින් මුලු ලංකාවම බලන්න හතර වටේ ඇවිදින එක.. අම්මප මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙන සතුටක් දැනෙන්නෙ.. ඒ වගේ ගමනකට වටින වැදගත් ලිපියකින් මේ ගැන දැනුවත් කරාට බොහොම ස්තූතියි අයියෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි වාහන ඇතුල් කරන්න නොදෙන එක නම් ගොඩාක් හොද දෙයක්...ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන මේ වගේ රක්ෂිත වනාන්තර, සංවේදි පරිසර පද්ධති, ජාතික උද්‍යාන වගේ ස්වභාවික පරිසර පද්ධති විශාල කණ්ඩායම් වශයෙන් නරඔන්නට යාම එතරම් සුදුසු දෙයක් නෙමෙයි..එක පාරකට සීය දෙසීය කණ්ඩායම් පවා මෙවැනි ස්ථාන නැරඹීමට පැමිනෙනවා අපි දැකලා තියෙනවා..එහෙම උනාම ඒ ස්වභාවික පරිසර පද්ධතියට වෙන හානිය වැඩියි..කෑකෝ ගසමින් පරිසරය ගැන කිසිදු තැකීමකින් තොරව තමයි මෙවැනි විශාල කණ්ඩායම් සංචාරයේ යෙදෙන්නේ...එමගින් එම පරිසර පද්ධතියේ ජීවින්ට ශාක ප්‍රජාවට වන බලපෑම සුළුපටු නොවේ..අපි කන්නෙලිය සංචාරය ඇතුළු බොහොමයක් සංචාරවල දැකපු දෙයක් තමයි මිනිසුන්ගේ ගමන් මාර්ග ඇති ස්ථාන වලින් වන සතුන් ඉවත් වී ඇති බව..සංචාරයේ යෙදෙන විට සතුන් දැක ගැනීමට ඇති හැකියාව වර්තමානය වන විට ඉතා පහල මට්ටමක තියෙන්නේ...මේකට ප්‍රධානම හේතුව අවිධිමත් ලෙස සංචාරකයන් පැමිණිම සහ ඔවුන්ගේ හැසිරීම් කියලා මම හිතන්නේ.....

      Delete
  12. ලස්සනට ලියලා තියනවා. මමත් කන්නෙලියේ දෙපාරක් ගියා. නාරන්ගස් ඇල්ල මංපෙත හරිම ලස්සනයි. බලන්න දේවල් ගොඩක් තියෙනවා. මම ඉස්සරහට ඒගැන ලිපියක් ලියන්නම්. කබ්බලේ කන්ද යන්න ආසාවෙන් ඉන්නේ. යන දවසට කිව්වොත් එනවද?

    ReplyDelete
    Replies
    1. මේ ගමනේදි අපිට නාරංගස් ඇල්ල දක්වා යන්න පුලුවන්කමක් තිබුනෙ නෑ මචං..අපිට තිබුන වෙලාවත් එක්ක අනගිමල ඇල්ලයි යෝධ පුස්වැලයි බලලා ආපහු එන්න වුනා....කබ්බලේ කන්ද ඇතුළු ඉතුරු ටිකත් දැක බලාගන්න මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ...ඉදිරි මාස දෙක තුන ඇතුලත නම් මට ටිකක් වැඩ වැඩියි..ඒත් යන දවස පොඩ්ඩක් මට කලින් කියන්න...පුලුවන්කමක් තිබුනොත් මම අනිවාර්යයෙන්ම එනවා....

      Delete
  13. Replies
    1. අනෙක් ලිපිත් නිවාඩුවේ බලන්න..යන එන තැන් වලට ආවට ගොඩාක් ස්තුතියි..

      Delete
  14. Thank you YANAENATEN for having this blog consisting valuable information about Kaneliya
    I wish you all the best and good luck .

    ReplyDelete
  15. රජා පෙන්නපු paara දිගේ ආවේ ගිහින් තිබ්බට මෙච්චර විස්තරයක් දැනගත්තේ අදයි...සැලසුමක් නොමැති කමින් මමත් කොටසයි නරබලා තියෙන්නේ අයිත් යන්න ඕන

    ReplyDelete