Thursday, January 19, 2012

බතලේගල නැගපු හැටි.....


                 ''අම්මේ අන්න සීගිරිය පේනවා'' පුංචි කාලේ මුල්ම වතාවට කෝච්චියෙන් නුවර යන ඕනෑම කෙනෙක් කඩුගන්නාව හරියෙදි මේ දේ කියලා ඇති. ඊට පස්සේ අම්මගෙන් හම්බවෙන උත්තරය තමයි '' නෑ නෑ පුතේ ඒ සීගිරිය නෙමෙයි ඒ බතලේගල'' කියන එක.හැබැයි ඉතින් ඔහොම කිව්වට අපි ඕක එකපාර පිලිගන්නෙත් නෑ. '' නෑ නෑ ඒ නම් සීගිරියම තමයි'' පොඩි එකා තමන්ටම කියාගන්නවා. පස්සේ ටිකක් ලොකු වුනාම අපිට තේරෙනවා මේ නම් සීගිරිය නෙමෙයි සීගිරිය වගේම පේන බතලේගල කියලා.. අන්න ඒ ‍ඓතිහාසික බතලේගල පර්වතය නැගපු කතාව තමයි අද මම '' යන එන තැන් '' වලට කියන්න යන්නේ...
                     
                           ඇත්තටම මේ බොලොග් එකේ පලමුවෙනි පෝස්ට් එක වෙන්න තිබුනේ අද මම මේ ලියන  බතලේගල නැගපු හැටි තමයි.ඒත් එක එක හේතු හින්දා මේ ගමන ගොඩක් ප්‍රමාද වුනා. කොහොමෙන් කොහොම හරි අපේ කැම්පස් එකේ යාලුවෝ දෙන්නෙකුයි ඒ එක්කෙනෙක්ගේ ගමේ යාලුවෙකුයි එක්ක සේරම 4 දෙනෙක් මේ ගමනට සෙට් වුනා..

මෙන්න අපේ සෙට් එක
 (අසංක, නිෂාන්, හර්ෂණ,මම)
                             6.20 ට කොළඹින් මාවනැල්ලට තියෙන බස් එකට තමයි අපි කට්ටිය සෙට් වුනේ. බස් එක මගදි ප්‍රමාද වුන නිසා අපි මාවනැල්ලට එනකොට 9 ත් පහුවුනා. සාමාන්‍ය විදිහට ආවානම් ඊට කලින් මාවනැල්ලට එන්න තිබ්බා. කොහොමත් බතලේගල නගින්න පුලුවන් තරම් උදේම යන එක තමයි හොද.

                             කොළඹ ඉදලා එන කෙනෙක්ට බතලේගල එන්න තියෙන ලේසිම විදිහ තමයි මාවනැල්ලට ඇවිත් එතනින් අරණායකට යන බස් එකක් අරගෙන ගැවිලිපිටිය ටවුන් එකෙන් බහින එකයි.මාවනැල්ල ඉදලා ගැවිලිපිටියට කිලෝ මීටර් 9 ක් විතර තියෙනවා. ගැවිලිපිටිය හන්දියෙන් හත්ගම්පලට යන්න බස් එකක් ගන්න පුලුවන්. හැබැයි ඒ පාරේ බස් ටිකක් අඩුයි. උදේ වරුවේ නම් බස් තියෙනවා හවස් වෙද්දි නම් නැති තරම්. බස් එකේ යනවනම් හත්ගම්පල, බතලේගල පාර ගාවින් බහින්න ඕන.ගැවිලිපිටිය හන්දියෙන් ත්‍රී වීල් එකක් හයර් එකට ගන්නත් ලේසියෙන්ම පුලුවන්. එහෙම නැත්නම් ඉතින් කකුල් දෙකේ පිහිටෙන් ඒ කිලෝ මීටර් දෙක හමාර පයින්ම යන්නත් පුලුවන්. හත්ගම්පල හංදියෙන් බතලේගල පාර පටන් ගන්නවා. හත්ගම්පල  ඉදන් බතලේගල කන්ද පාමුලට යන්න නම් වෙන්නේ පයින් තමයි. කන්ද පාමුලටම නැතිවුනත් සෑහෙන දුරට යනකම් පාර කොන්ක්‍රීට් කරලා තියෙනවා. ‍ෆෝ වීල් ජීප් එකකින් හරි කැබ් එකකින් හරි ආවොත් නම් කන්ද පාමුලටම යන්න පුලුවන්. වෑන් එකකින් වුනත් සෑහෙන දුරකට යන්න පුලුවන්. පාර නම් ටිකක් දුෂ්කරයි තැනිතලාවක් හම්බවෙන්නෙම නැති තරම්. හැබැයි ඉතින් මේ ගමනේ නියම අත්දැකීම ගන්න නම් මේ ටිකවත් පයින් යන්න ඕන කියලා තමයි මට නම් හිතෙන්නේ. කන්ද පාමුලට ආවට පස්සේ නම් ඉතින් කෙලින්ම කන්ද නගින්න තමයි තියෙන්නේ හරියට මහගිරිදඹෙ නගිනවා වගේ. ඔන්න ඕක තමයි මාර්ග විස්තරය.

උපුටා ගැනීම 1: 50000 ශ්‍රී ලංකා සිතියම
සිතියම් අංක 61

                අපි ගමන පටන් ගත්තේ 9.40 ට තිබුන  අරණායක බස් එකෙන්. මාවනැල්ල ඉදන් ගැවිලිපිටියට යන අතරමග බතලේගල හරි අපූරුවට පේනවා. ඒත් බස් එකේ හිටපු නිසා ෆොටෝ එකක් ගන්න නම් බැරි වුනා. මාවනැල්ල ගැවිලිපිටිය අතර තැන් කිහිපයකදීම බතලේගල ලස්සනට බලාගන්න පුලුවන්. තමන්ගේ වාහනයක යනවනම් නතරකරලා ෆොටෝ එකක් ගන්න අමතක කරන්න එපා. අපි ගැවිලිපිටියට එනකොට වේලාව 10.15 යි. ගැවිලිපිටිය කියන්නේ එච්චර ලොකු ටවුන් එකක් නෙමෙයි. ආහ් මට කියන්න දෙයක් අමතක වුනා. ගමනට ඕන කරන කෑම බීම හැම දෙයක්ම මාවනැල්ලෙන් ගන්න එක තමයි හොදම දේ. හැබැයි ගැවිලිපිටිය ඉදන් බතලේගලට පයින් යන්න නම් හිතාන ඉන්නේ ගොඩක් බඩු අරගෙන යන එක ගමනට බාධාවක්. චොකලට්, කිරි, බිස්කට්,පාන් වගේ දේවල් අරන් යන එක තමයි ගොඩක්ම හොද. ගමනට සෑහෙන්න වතුර අරන් යන්නත් අමතක කරන්න එපා. මගදි වතුර පුරවාගන්න තැන් කිහිපයක් තිබුනත් ගල උඩ නම් බොන වතුර ඇති කියලා හිතන්නවත් එපා.

                ගැවිලිපිටිය හංදියෙන් හත්ගම්පලට යන්න බස් තිබුනත් අපිට ඕන කරලා තිබුනේ ඒ කිලෝ මීටර් දෙක හමාරත් පයින්ම යන්නයි. ඒක හින්දා බස් එකක් එනකම් ඉන්නේ නැතුව පයින්ම වැඩේ පටන් ගත්තා.

අරණායක බස් එකේදි...

ගැවිලිපිටිය හන්දිය...


උදේ කෑම ඉරිගුය

ලස්සන දැක්කහම ගහ පිටින් උස්සන් එන්න හිතයි....

මග දිගේ...

රටාවක චමත්කාරය...

තවත් එක් කෝණයකින්...

දෙකේ කණුව....
               හත්ගම්පොල හංදියට එනකොට වෙලාව 11 ට විතර ඇති. එතනින් බතලේගල පාර පටන් ගන්නවා.මම ඉස්සරවෙලා කිව්ව වගේ ටික දුරක් ගියහම මේ පාරේ තැනිතලාවක් හොයාගන්නවා බොරු. ගොඩක් වෙලාවට වංගු සහිත නැග්මක් තමයි තියෙන්නේ. ටික දුරක් ගියහම බීමට වතුර ගන්න පුලුවන් නල ලිදක් හම්බවෙනවා. එතනින් වතුර පුරවාගන්න අමතක කරන්න එපා. එතනින් එහාට වතුර ගන්න තැනක් ආයේ හම්බවෙන්නේ නෑ..

බතලේගල පාර...


හත්ගම්පල විහාරය



විඩාබර ගමනට විවේකයක්.....

ගමක අසිරිය...

                         හත්ගම්පොල හංදියේ ඉදන් කදු පාමුලට එන්න අපිට පැයක් විතර ගියා.කදු පාමුල ඉදන් ගල මුදුනට නගින්න තියෙන්නේ දල නැග්මක්. කලින් දවසේ මම ලේ දීලා තිබුන නිසා මට ඒක නගින එක හිතපු තරම් ලේසි උනේ නම් නෑ. හිතේ හයිය හින්දා නැවති නැවති හිමින් සැරේ කොහොම හරි ගල මුදුනටම නැග්ගා.

ආරම්බය හොදයි....

මම තාම අන්තිම......

මල්ලිගේ ජංගමේනම් වැඩ....

වනය මැදින්.....

අත්වාරු, පඩි පෙල් නොතිබ්බනම්....

සුන්දර ගමනක දුෂ්කරත්වය...

වැඩේ ලේසි නෑ.....



තව ටිකයි.....

ඔන්න එහෙනම් ගල මුදුනටත් ආවා...


                       ගල මුදුනට එනකොට වේලාව 12.50 යි. ගල මුදුනේ පාරවල් වල දල සැලැස්මක් තමයි මේ. මේක බොලොග් එක ලියන වෙලාවෙ මතකයෙන් ඇන්ද එකක්. යන්න ඉන්න කෙනෙක්ට දල අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.


                       ගල මුදුනට ආවට පස්සේ පාර දෙකට බෙදෙනවා. දකුණු පැත්තට ( දල සැලැස්මට අනුව) ගියොත් බෞද්ධ විහාරයට යන්න පුලුවන්.දැන් මේ පංසල අතහැරලා දාලා තියෙන්නේ. ඇයි එහෙම වුනේ කියන්න නම් මම හරියටම දන්නෙ නෑ. ආවාසගෙයක් ,නාන කාමර, වැසිකිලි පහසුකම් වගේම විදුලියද ගල මුදුනටම සපයලා තියෙනවා. ඒ වගේම වැසි ජලය රැස් කර තැබිය හැකි විශාල ජල ටැංකියක්ද සාදා තිබෙනවා. හාමුදුරුවරු කිහිප නමකට මෙහි පහසුවෙන් විසීමට හැකියාව තිබෙනවා. මේ විහාරස්ථානය තවදුරටත් පරිහානියට පත්වන්නට ඉඩ නොදී ප්‍රතිසංස්කරණය කොට රැකගැනීම වැදගත් බව මගේ අදහසයි.

ආවාසගෙය...

විවෘත වූ වගයි....

ඒකක 3යි.....


                     ආවාස ගෙය ලගින් පහලට තිබෙන පාර  ආලෝක විහාරය දක්වා විහිදෙනවා. ආලෝක විහාරය ගල් ගුහාවක් දෙපසින් ආවරණය කිරීමෙන් අලංකාර ලෙස සාදා තිබෙනවා.

ආලෝක විහාරය බලා.....

දිවා ආහාරය.....

ආලෝක විහාරය...


                     ආවාස ගෙය ලගින් ඉහලට තිබෙන පාර ඝණ්ඨාර කුලුණ හා විහාරය හරහා විවෘත ගල් තලාව වෙත දිවෙනවා.

බෝධීන් වහන්සේ...



බුදු මැදුර...





                     ඝණ්ඨාර කුලුණ හා විහාරය පහුකරගෙන ටික දුරක් ගියහම පර්වත කෙලවර ගල් තලාවට එන්න පුලුවන්. හතරවටෙන්ම වටවූ කදු වලලු නෙතට එක් කලේ වචනයෙන් විස්තර කල නොහැකි චමත්කාරයක්. අසුපිනි ඇල්ල, අම්බුලුවාව, අලගල්ල කදු වැටිය, උතුවන් කන්ද වැනි ස්ථාන පැහැදිලිව බලාගන්න මෙතනදි පුලුවන්... 

අසුපිනි ඇල්ල...

හරියට තිතට...

අම්බුලුවාව...


                  පර්වතයේ අනෙක් කෙලවරට යන්න තිබුනෙ ආපු පාරෙම ආපස්සටයි. වැඩි වෙලාවක් යන්න කලින් අනෙක් කෙලවරට අපිට එන්න පුලුවන් වුනා. පර්වතයේ ඇති සුන්දරම ස්ථානය මේ වම් පස විවෘත කෙලවරයි. මද්දහනේ දැඩි අව් කාෂ්ටකේ නිසා ඇගට දැනුන  ඒ තෙහෙට්ටුව ඇසිල්ලකින් මකා දමන්නට ඈත කදු වළලු පිස හමා එන සීතල සුලග සමත් වුනා. නෙත ගැටුන සොදුරු දසුන් වලින් කිහිපයක් තමයි මේ.....

අනෙක් කෙලවර බලා.....

හැරුම් ලක්ෂය.....

අව් රශ්මිය ඉවසන්න බැරි තරම්.....

ආ මග.....






සුලං කපොල්ල....

අලගල්ල කදු වැටිය....




සුන්දරත්වය උපරිමයි....




                 බතලේගලට සමුදෙන මොහොතට ඹරලෝසු කටු ලන්වෙලා.අකමැත්තෙන් වුනත් බතලේගල කදු මුදුනට ආයුබෝවන් කියනකොට වෙලාව හවස 4 ට කිට්ටුයි. විනාඩි විස්සක් යන්නටත් කලින් අපිට කදු පාමුලට එන්න පුලුවන් වුනා. හවස් යාමේ බස් ධාවනය අඩු නිසා ගැවිලිපිටිය හංදියටම පයින්ම එන්න වුනත් මහන්සියක් නම් දැනුනේම නැති තරම්..

ආයුබෝවන් '' බතලේගල ''

බහින එකත් ලේසි නෑ

ගලේ කෙටූ පඩි....


ඒ සුන්දර ඉසව්ව....

කට්ටිය හෙමින් යන්න දන්නෙම නෑ....

ගම මැදින්....

සන්ධ්‍යාවේ චමත්කාරය....

නොපෙනී යාමට මොහොතකට පෙර.......

තව ටිකයි....

ගමනක නිමාව......
                         ඔන්න ඹහොමයි ඒ සුන්දර මතකයන් පෙල දිගහැරුනේ..කියන්න වැදගත් දෙයක් තියනවා. මේ බොලොග් පෝස්ට් එක කියවන ඔබටත් හිතෙයි බතලේගල බලන්න යන්න. බතලේගල යන්න මේ සුන්දරත්වය විදගන්න හැබැයි ඒ සුන්දරත්වයට අබමල් රේණුවක තරම්වත් හානියක් කරන්න එපා..ගල උඩට අරන් යන කඩදාසි කොලයවත් එහි නොදමා එන්න වග බලා ගන්න..එහි ඇති දේපල වලට හානි කිරීමෙන් වලකින්න..දකින දකින තැන විකාර ලියන, කන බොන දෙයහි දවටන එතැනම දමා යන අවජාතක පුද්ගලයෙකු නම් ''ඔබ'', මෙහි යාමටවත් නොසිතන එක වඩා හොදය....

( කතෘ අයිතිය සුරකින්න. සියලුම ජායාරූප සහ ලිපියේ අයිතිය කතෘ සතුයි.අවසරයකින් තොරව කිසිවක් උපුටා ගැනීම තහනම්)